April 30, 2025

ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් දියත් වීමට ඉඩ ඇති බවට ඉස්ලාමාබාද් වෙත විශ්වාසදායක බුද්ධි තොරතුරු ඇති බව පකිස්ථාන තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම අවදානම මතුව ඇත්තේ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මීට දින කිහිපයකට පෙර සිදු වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු දෙරට අතර ආතතීන් උත්සන්න වන පසුබිමකයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අද(30) අලුයම තැබූ සටහනකින් පකිස්ථාන තොරතුරු සහ විකාශන අමාත්‍ය අතාවුල්ලා ටාර් චෝදනා කළේ සංචාරකයන් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ප්‍රහාරය, පකිස්ථානයට පහර දීම සඳහා ඉන්දියාව හේතුවක් ලෙස යොදාගැනීමට සූදානම් වන බවයි.

තම ප්‍රකාශයට හේතු වූ කිසිදු නිශ්චිත තොරතුරක් අමාත්‍යවරයා ලබා දී නොතිබිණි.

චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජය වහාම ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නැත.

“ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. කලාපයේ සිදුවන ඕනෑම බරපතළ ප්‍රතිවිපාක සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතුය,” යනුවෙන් අමාත්‍ය ටාර් X හි තැබූ සටහනේ සඳහන් කර තිබේ.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් ද පසුගිය සඳුදා රොයිටර්ස් පුවත් සේවයට පැවසුවේ ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් අතළඟ බවයි.

ඒ සම්බන්ධයෙන් ඉස්ලාමාබාදය දැඩි අවධානයෙන් සිටින නමුත් පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් න්‍යෂ්ටික අවි භාවිත කරන බව අසිෆ් පැවසීය.

ටාර්ගේ නවතම ප්‍රකාශයන් පිළිබඳ රොයිටර්ස් පුවත් ඒජන්සිය කළ විමසීමකට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ප්‍රතිචාර දක්වා නැත.

අප්‍රේල් 22 වැනි දින පහල්ගම් කඳුකර නිකේතනයේ සිදු වූ ප්‍රහාරයට පාකිස්ථාන බලවේග සම්බන්ධ බවට ඉන්දියාව ප්‍රකාශ කිරීමෙන් පසු දෙරට අතර ආතතීන් ඉහළ යමින් තිබේ.

දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය වූ අතර, ප්‍රහාරකයන් අල්ලා ගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පොරොන්දු වී තිබේ.

පකිස්ථානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයේ ශාඛාවක් ලෙස සැළකෙන ද රෙසිස්ටන්ස් ෆ්‍රන්ට් (TRF) යන සංවිධානය නමින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

සිදුවූ දෙයට තම රටේ සම්බන්ධයක් නොමැති බව ඉස්ලාමාබාදය සඳහන් කර ඇති අතර මධ්‍යස්ථ පරීක්ෂණයක් ද ඉල්ලා සිටී.

ප්‍රහාරයෙන් පසු, වීසා අවලංගු කිරීම් සහ ඉන්දියානු ගුවන් සේවා සඳහා පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම ඇතුළුව දෙරට එකිනෙකාට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් දියත් කර තිබේ.

ඉන්දියාව ඉන්දු ගඟෙන් සහ එහි අතු ගංගාවලින් දෙරට අතර ජලය බෙදා ගැනීම නියාමනය කරන ඉන්දු ජල ගිවිසුමට සහභාගී වීම ද අත්හිටුවා ඇත.

මෙම පියවර පාකිස්ථානයේ විරෝධතා ඇති කළ අතර, නවදිල්ලියේ තීරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පකිස්ථාන රජය පවසා තිබේ.

කාශ්මීරයේ ඉන්දියානු සහ පකිස්ථාන පාලිත ප්‍රදේශ වෙන් කරන කිලෝමීටර් 740 තථ්‍ය දේශසීමාව වන පාලන රේඛාව දිගේ ද වෙඩි හුවමාරුවක් සිදුවී ඇති බව පැවසේ.

එක්සත් ජනපදය දෙරටෙන් ඉල්ලා සිටියේ වගකිවයුතු විසඳුමක් සඳහා කටයුතු කරන ලෙසයි.

“අපි දෙපාර්ශවයටම ප්‍රකාශ කළේ තත්ත්වය උත්සන්න නොකරන ලෙසයි,” යනුවෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් වාර්තාකරුවන්ට පැවසීය.

රුබියෝ ඉන්දියාවේ සහ පකිස්ථානයේ විදේශ අමාත්‍යවරුන් සමඟ කතා කරන බවත් අනෙකුත් විදේශ අමාත්‍යවරුන් ද එසේ කිරීමට දිරිමත් කරන බවත් ප්‍රකාශකයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පැවසුවේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ කතා කළ අතර ඛේදජනක ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි ගැටුමක් වළක්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි.