September 24, 2026

ඉකුත් බදාදා පාකිස්තානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සඳහා භාවිත කළ බවට පවසමින්, ඇෆ්ගනිස්තානයේ ස්ථාන 10 කට බ්‍රහස්පතින්දා අලුයම ගුවන් ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානය ප්‍රකාශ කළේය.

දෙරට අතර මෑතකදී ඇති වූ සටන් මෙසේ දැඩි ලෙස උග්‍රවීම ජාත්‍යන්තර මධ්‍යස්ථකරණ ප්‍රයත්නයන්ට ද තර්ජනයක් වී තිබේ.

මෙම ගුවන් ප්‍රහාර ඇෆ්ගනිස්තානයේ දකුණු සහ නැගෙනහිර පළාත් වන කන්දහාර්, පක්තියා සහ ඛොස්ට් යන ප්‍රදේශවලට එල්ල වී ඇති අතර එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිව්දෙනෙකු මියගිය බව ඇෆ්ගන් රජයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පාකිස්තානය වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ මුජාහිඩ්, මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් පාකිස්තානයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟවීය.

“පාකිස්තාන හමුදා රෙජිමය විසින් සිදුකරන ලද මෙම ලජ්ජා නැති ආක්‍රමණශීලී ක්‍රියාවන්ට සහ ප්‍රහාරයන්ට නියමිත වේලාවේදී සුදුසු පිළිතුරු ලැබෙනු ඇතැයි” යනු ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.