November 16, 2026

රන් කැණීම් හරහා උපයන රුපියල් බිලියන ගණනක ආදායම සටන්කාමී කණ්ඩායම් අතට පත්වන බවට පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාත් ආණ්ඩුකාරවරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ, පාකිස්තානයේ ත්‍රස්තවාදයට නීතිවිරෝධී රන් කැණීම්වලින් මූල්‍ය ශක්තිය ලැබෙන්නේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.

කෝහාට් දිස්ත්‍රික්කයෙන් පමණක් මාසිකව රුපියල් බිලියන 4.2ක් පමණ වටිනා රන් කිලෝග්‍රෑම් 90කට ආසන්න ප්‍රමාණයක් කැණීම් කරන බවත්, එම මුදලින් සියයට 80ක් පමණ ඇෆ්ගනිස්ථානය වෙත ඇදී යන බවත් ආණ්ඩුකාර ෆයිසාල් කරීම් කුන්ඩි සඳහන් කළේය. නීතිවිරෝධී රන් කැණීම් මැඩලීම සඳහා සිදුකළ මෙහෙයුමකදී පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සහ සටන්කාමීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී දින කිහිපයක් ගතවෙත්ම ආණ්ඩුකාරවරයා මෙම චෝදනා එල්ල කර තිබේ. කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් ස්වාධීනව තහවුරු කර නොමැත.

මේ අතර, පළාත පුරා ක්‍රියාත්මක සියලුම කැණීම් කටයුතු වහාම අත්හිටුවීමටත්, දැනට නිකුත් කර ඇති රන් කැණීම් බලපත්‍ර අවලංගු කිරීමටත් පියවර ගන්නා බව ආණ්ඩුකාර කුන්ඩි ප්‍රකාශ කර තිබේ.

කැණීම් භූමිවල රඳවා ඇති බර යන්ත්‍රෝපකරණ දින හතක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස ද අදාළ බදුකරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට නියෝග කර ඇත. බාධාවකින් තොරව කැණීම් සිදුකරගෙන යාම සඳහා නීතිවිරෝධී කැණීම්කරුවන් විසින් සටන්කාමී කණ්ඩායම් වෙත කප්පම් මුදල් ගෙවනු ලබන බව ද ඔහු අනාවරණය කළේය.

පාකිස්තානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සහ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා අරමුදල් සැපයීමට සටන්කාමීන් එම මුදල් භාවිත කරන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

මෙම අනවසර කැණීම් කටයුතු සඳහා ට්‍රැක්ටර්, ඩම්පර් රථ සහ කම්කරුවන් දහස් ගණනක් යොදවා ඇති බව පෙන්වා දුන් ඔහු, මසකට රුපියල් බිලියන 4.2ක පමණ රන් ලබාගත හැකි ප්‍රදේශයක වසර 10ක කැණීම් බදු ගිවිසුමක් රුපියල් බිලියන 4.92ක් වැනි මුදලකට ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතු කළේය.

ආණ්ඩුකාරවරයාගේ මෙම හෙළිදරව්වත් සමඟ රටේ ඛනිජ සම්පත් පාලනය කිරීමේ විනිවිදභාවය සහ ඉන් ලැබෙන ආදායම් සන්නද්ධ කණ්ඩායම් අතට පත්වීමේ අවදානම පිළිබඳව බරපතළ සැකයක් මතුව තිබේ.