July 3, 2026

පකිස්ථානයේ ක්වෙටා නුවර සිට පෙෂාවර් බලා ධාවනය වූ මගී බස් රථයක් වයඹදිග පකිස්ථානයේ කඳුකර මාර්ගයකදී ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් සහ කුඩා ළමයින් ඇතුළු පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිකුරාදා දින සිදු වූ මෙම බිහිසුණු අනතුරෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ඩේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇත. කඳුකර ප්‍රදේශයේ පිහිටි අවදානම් සහිත වංගුවක් ගැනීමේදී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුර සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

බලෝචිස්ථාන මහ ඇමති සර්ෆ්‍රාස් බුග්ටිගේ මාධ්‍ය සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස්කරු ෂහීඩ් රින්ඩ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මූලික වාර්තාවලට අනුව අනතුරෙන් 40 දෙනෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

වින්දිතයන්ට සහ පීඩාවට පත් වූවන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා දෙපළාතේම දිස්ත්‍රික් පරිපාලන ආයතන, මුදාගැනීමේ කණ්ඩායම් සහ අනෙකුත් අදාළ අංශ එක්ව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

1122 හදිසි මුදාගැනීමේ බලකායට අනුව අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයන් 48 දෙනෙකු ගමන් කර ඇත.

දේශීය “ඩෝන්” පුවත්පත වාර්තා කළේ බස් රථය ක්වෙටා නුවරින් ගමන් ආරම්භ කරන විට එහි සිට ඇත්තේ මගීන් 36 දෙනෙකු පමණක් බවත්, ඉතිරි පිරිස මාර්ගයේදී බස් රථයට ගොඩවී ඇති බවත්ය.

මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ෂෙරානි උප කොමසාරිස් වාලි ඛාන් කාකර් පැවසීය.