January 28, 2024

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ‘ඒකීය රාජ්‍යය’ තුළ එළඹෙන විසඳුමකින් ඉටු නොවන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂයේ නව නායකයා ලෙස තේරීපත් වූ එස්. ශ්‍රීධරන් පවසයි.

ඒ අනුව තම පක්ෂය ගමන් කරන්නේ ෆෙඩරල් විසඳුමක් කරා බව ඔහු ප්‍රකාශ කළේය.

Tamil Guardian සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ 13 වැනි සංශෝධනය දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් නොවන බවයි.

“ඒ අනුව අපි අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තියට මේ අංගය ඇතුළත් කළා.  13 වැනි සංශෝධනය මෙතෙක් අපේ ජනතාවට දේශපාලන විසඳුමක් වුණේ නැහැ. 13 වැනි සංශෝධනයේ විධිවිධාන බොහොමයක් ශ්‍රී ලංකා රජය විසින් ඉවත් කර තිබෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යන යෙදුම නැවත නැවත භාවිත කිරීමෙන් ප්‍රධාන විසඳුමක් ලබා ගත හැකි යැයි අප කිසිවකු සිතන්නේ නැහැ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

“දෙමළ ජනයාගේ දේශය, ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය සහ සංස්කෘතික අනන්‍යතා හඳුනාගෙන ඒකාබද්ධ වූ උතුරු-නැගෙනහිර විසඳුමක් කරා අපි ගමන් කරමින් සිටිනවා. මේ සියල්ලටම වඩා දෙමළ ජනතාව මේ බිමේ ආදිවාසී ජනතාව බව පිළිගත යුතුයි. දෙමළ ජනතාව අද්විතීය ජාතික ජනවර්ගයක් බව පිළිගත යුතුයි. අපේ ගමන යන්නේ මේ පැත්තට. ඒ සඳහා කාලය ළඟ බව අපි විශ්වාස කරනවා. ඒ නිසා එය හුදු සටන් පාඨයක් නෙවෙයි. ඒ පදනම මත ශක්තිය සැපයිය හැකි වෙනත් බලවේග ඊට ඇතුළත් විය යුතුයි. අපි අනෙකුත් පක්ෂ සමඟ එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස අපගේ ශක්තිය පෙන්වමින් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට සෑම උත්සාහයක්ම ගන්නවා.”යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.