July 21, 2026

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් අද (21) පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න වෙත නිල වශයෙන් භාර දී තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව භාරදුන් බව විපක්ෂය තහවුරු කළේය.

පසුගිය ජූලි 05 වනදා සහ 06 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය මුල්කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

බන්ධනාගාර භාරයේ පසුවන පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ අදාළ වගකීම් ඉටුකිරීමට අමාත්‍යවරයා අසාර්ථක වී ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

2024 නොවැම්බර් 25 වන දිනැති අංක 2412/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පාලනය සහ පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තදබදය අඩුකිරීම වැනි වගකීම් නිසියාකාරව ඉටුකර නොමැති බවත්, එම පිරිහීම මෙම අර්බුදයට සෘජුවම හේතු වූ බවත් විපක්ෂය වැඩිදුරටත් පෙන්වාදෙයි.