June 6, 2023

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(06) කනස්සල්ල පළ කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අනාවරණ කළේ, ජනාධිපතිවරයා පසුගියදා නුවරඑළියේදී විනිසුරුවරුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

“සංවේදී අධිකරණ කටයුතු කිහිපයක් තීන්දු වීමට නියමිත මොහොතක මෙවැනි භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයා වැළකී සිටිය යුතුව තිබූ බව මගේ අදහසයි” විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණය පැවැත්වීමට රජයට මුදල් හිඟයක් නොමැති බව ඔප්පු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, පළාත් පාලන මැතිවරණය හෝ ජනාධිපතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඒ අතුරින්, පළමුවෙන්, නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන සංශෝධනවලට සහාය දැක්වීමට විපක්ෂය සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.