September 22, 2026

ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සහ පරිසරය සුරැකීමේ අරමුණින්, 2026 සැප්තැම්බර් 25 වන දින ආරම්භ වන මෙවර කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලදී ගැනීමේදී නැවත භාවිත කළ හැකි, පරිසර හිතකාමී බෑග් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය පොත් ප්‍රදර්ශනයන්හිදී පොත් රැගෙන යාම සඳහා පැමිණි පිරිස් බහුලව ප්ලාස්ටික් ‘සිලි සිලි’ බෑග් භාවිත කර ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව මෙම ඉල්ලීම සිදුකර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති 2025 ඔක්තෝබර් 1 දිනැති අංක 2456/41 දරන ගැසට් නිවේදනයට අනුව, පාරිභෝගිකයන් වෙත අත් සහිත ප්ලාස්ටික් බෑග් නොමිලේ ලබාදීම තහනම් වේ. ඒවා අලෙවි කරන්නේ නම්, එහි මිල රිසිට්පතෙහි පැහැදිලිව සටහන් කළ යුතු වේ.

මෙම නියාමනයන්, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන පාරිසරික හානිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා පුළුල් උත්සාහයේ එක් පියවරකි.

ප්ලාස්ටික් ෂොපිං බෑග්වලට අමතරව, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට (straws), කලවම් කරන කූරු (stirrers), පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, චොප්ස්ටික්ස් සහ පොලිතින්වලින් සාදන ලද ලන්ච් ෂීට් විකිණීම, නොමිලේ බෙදා හැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇත.

ප්‍රදර්ශන භූමිය තුළ පිහිටි ආහාර කුටිවල තහනම් ප්ලාස්ටික් භාවිත නොකරන බවට සහතික වීම සඳහා එම වෙළෙඳුන් සමඟ මේ වන විටත් එකඟතාවකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.

වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සමඟ එක්ව ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ “නැණවත්ව කියවමු – නැණවත්ව ගෙනයමු” (Read with wisdom – Carry with wisdom) යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.