July 22, 2026

වසර 14ක කාලයක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති දකුණු පළාත් මහා සංඝ සභාවේ විශේෂ රැස්වීමකදී උන්වහන්සේගේ ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දී ඇත.

තම තීරණය පැහැදිලි කරමින් ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කර ඇත්තේ, නායකත්ව තනතුරු ජීවිතාන්තය දක්වා දැරිය යුතු නැති බවත්, තරුණ භික්ෂූන් වහන්සේලාට වගකීම් භාරගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත්ය.

සංඝනායක තනතුරු යනු මහලු වියේදී පමණක් ලබාදෙන ගෞරව නාමයන් ලෙස නොසැලකිය යුතු බවත්, ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සක්‍රීයව දායක විය හැකි පිරිස් විසින් ඒවා දැරිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් වදාරා ඇත.

2012 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් සංඝ සභාව මගින් ඕමල්පේ සෝභිත හිමියන් මෙම ධුරයට පත්කරන ලදී.

ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර, උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ පැවැති විහාරස්ථාන සහ අධ්‍යාපනික ආයතන 14ක වගකීම් සිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා වෙත භාරදීමටද කටයුතු කර තිබිණි.