July 27, 2026

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකිනෙකා වෙත එල්ල කරගනු ලැබූ ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ, සඳුදා (ජූලි 27) ලෝක වෙළඳපලේ බොරතෙල් මිල 5% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

මීට පෙර පැවැති උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් ලීටරයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

කෙසේ වෙතත්, නවතම පුවත් වාර්තා වන අවස්ථාව වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5.39% කින් පහත වැටී ඩොලර් 84.47 ක් ලෙස ද, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5.15% කින් පහත වැටී ඩොලර් 91.80 ක් ලෙස ද සටහන් විය.

ඉරානයට එල්ල කරන බෝම්බ ප්‍රහාර මාලාව තාවකාලිකව අත්හිටුවන බවට වොෂින්ටනය පසුගිය සිකුරාදා ලබා දුන් සංඥාව මෙම මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

ඉරිදා “ෆේස් ද නේෂන්” වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති මයික් වෝල්ට්ස් සඳහන් කළේ, ප්‍රහාර අත්හිටුවීම හරහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා යම් ඉඩක් ලබා දෙන නමුත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අසාර්ථක වුවහොත් භාවිත කිරීම සඳහා අමතර හමුදා බලඇණි කලාපය වෙත යොමු කරමින් සිටින බවයි.

එක්සත් ජනපදය ප්‍රහාර එල්ල නොකරන්නේ නම්, තමන් ද ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින බව ඉරානය ද පවසා ඇත.

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඕමාන නියෝජිත පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡා “සාර්ථක” වූ බවත්, යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගායි පැවසීය. නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ ටෙහෙරානයේ ස්ථාවරය ‘ප්‍රහාරයකට ප්‍රහාරයක්’ යන්න බැවින්, ඇමරිකාව ප්‍රහාර නවතා තබන තෙක් ඉරානය ද සිය හමුදා මෙහෙයුම් අත්හිටුවනු ඇති බවයි.