March 24, 2026

ඉරානය සමඟ ‘යහපත් සහ ඵලදායී සංවාද’ පැවැත්වීමෙන් පසු ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාර දින පහකට කල් දැමීමට තමන් එක්සත් ජනපද හමුදාවට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

එම නිවේදනයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 13%කට වඩා පහත වැටිණි.

ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 11:08 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 17ක් හෝ 15%ක් පමණ පහත වැටී ඩොලර් 96ක අවම මට්ටමකට ළඟා වූ අතර, එක්සත් ජනපද WTI තෙල් බැරලයක් ඩොලර් 13ක් හෝ 13.5%ක් පමණ පහත වැටී ඩොලර් 85.28ක අවම මට්ටමකට ළඟා විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඉරානය නැව්වලට එල්ල කළ ප්‍රහාර හමුවේ තෙල් මිල බැරලයකට ඩොලර් 100ට වඩා ඉහළ යෑමෙන් පසුව මෙම පහළ යෑම සිදු විය.

බීබීසී පුවත් සේවයට අනුව, මැද පෙරදිග ‘සම්පූර්ණ සතුරුකම් විසඳීම’ පිළිබඳ එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා පවත්වා ඇති බව ට්‍රම්ප් පවසා ඇත.

සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉරාන බලාගාරවලට එල්ල වන තර්ජනාත්මක ප්‍රහාර දින පහකට කල් දැමූ බව ඔහු පැවසීය.

ඒ සමග තෙල් සහ ගෑස් මිල වහාම පහත වැටිණි.

කෙසේවෙතත්, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ්, එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සිදු කළ බව ප්‍රතික්ෂේප කළ අතර තෙල් වෙළෙඳපොළ හැසිරවීමට මෙවැනි ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ භාවිත කරන බව සඳහන් කර තිබේ.

ට්‍රම්ප් පසුව පැවසුවේ එක්සත් ජනපද පාර්ශවය නියෝජනය කළේ ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් විසින් බවයි.

සෙනසුරාදා රාත්‍රියේ,හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට පැය 48ක කාල සීමාවක් ට්‍රම්ප් ඉරානයට ලබා දී තිබිණි.

නැතහොත්, එක්සත් ජනපදය ඉරාන බලාගාර ‘අතුගා දමනු ඇත’ යනුවෙන් ඔහු පැවසීය.

යුද්ධය ආරම්භ වූ දා සිට ට්‍රම්ප්ගේ නවතම පණිවිඩය ඇතැම් විට ඔහුගේ වඩාත්ම සහනදායක පණිවිඩය විය හැකි නමුත්, එය සැළකිව යුතු පිළිතුරු නොලැබෙන ප්‍රශ්න ඉතිරි කරයි.

ඉරාන මාධ්‍ය පවසන්නේ ඉරානය ගල්ෆ් හරහා සහ ඊශ්‍රායලයේ විදුලි බලාගාර ඉලක්ක කරන බවට අනතුරු ඇඟවීමෙන් පසු ට්‍රම්ප් ‘පසුපසට ගිය’ බවයි.

සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරන මූලාශ්‍රය තිබියදීත්, ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ට්‍රම්ප් පැවසූ බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.

ප්‍රකාශ ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි වී ඇති අතර ඉරාන නිලධාරීන්ගෙන් ක්ෂණික අදහස් දැක්වීමක් ලැබී නොමැත.