December 17, 2023

චොකලට් තොගයක් සම්බන්ධ නඩුවක් ලිහිල් කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඇති බවට චෝදනාවක් එල්ලවී ඇත.

මුද්‍රා තබන ලද චොකලට් තොගයක් සම්බන්ධ නඩු කටයුත්තකදී සහනයක් ලබාගැනීමට නිලධාරීන් රුපියල් ලක්ෂ 05ක් ඉල්ලා ඇති බවත්, එම මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් තමාගෙන් ලබාගත් බවටත් මෙලෙස මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් චෝදනා එල්ල කර තිබේ.

අදාළ අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇත.

ව්‍යාපාරිකයා චෝදනා කරන ආකාරයට, පසුගිය අගෝස්තු 19වනදා පාරිභෝගික කටයුතු අධිකාරියේ අදාළ නිලධාරීන් පිරිස පැමිණ මහරගම ප්‍රදේශයේ චොකලට් අලෙවිසැලක මෙම පරීක්ෂාව සිදුකර තිබේ.

එහිදී මිල සහ ආනයනකරුගේ නම ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ රුපියල් ලක්ෂ 30කට ආසන්න චොකලට් සහ ටොෆි තොගයකට මුද්‍ර තැබීමට ඔවුන් කටයුතු කර ඇත.

පසුව අදාළ චොකලට් තොග නිදහස් කරගැනීමට නම් තමන් වෙත රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවට අලෙවිසැල් හිමිකරු චෝදනා කරයි.

මුද්‍රා තබන ලද චොකලට් තොගයට අමතරව තවත් චොකලට් පාර්සල් කිහිපයක් නිලධාරීන් අතර බෙදාගත් බවට ද හිමිකරුවන් පවසයි.

මුදල් ලබාගැනීමෙන් පසුව අදාළ නිලධාරීන් වෙළෙඳසැල් හිමිකරුට ලබාදුන් බව කියන දුරකථන ඇමතුම් කිහිපයක හඬපට අලෙවිසැල් හිමිකරුවන් විසින් ඉදිරිපත් කර ඇත.

(sinhala.adaderana.lk)