May 10, 2023

රාජ්‍ය ඇමැතිවරයකුගේ සහචරයකු වෙතින් තර්ජනයට ලක්ව ඇති, ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන ඕමානයේ ඔබෙයිදානි ඇපරල් සමාගමේ නිෂ්පාදන සිදුකරගෙන යෑම සදහා අවශ්‍ය විකල්ප ස්ථානයක් ලබාදීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් ඇති බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අල් ඔබයිදානී ඇපරල් සමාගම ශ්‍රි ලංකාව තුළ වසර 07කට ආසන්න කාලයක් සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින්, ශ්‍රි ලංකා සන්නාමය ලොව ප්‍රචලිත කරමින්, රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට සහ රැකීරක්ෂා රටතුල විශාල සංඛ්‍යාවක් ජනනය කිරීමට දායක වී ඇත.

මෙම කර්මාන්තාශාලාවේ හිමිකරු වන ඕමාන ජාතික කලීෆා අල් ඔබෙයිදානි සහ ආරක්ෂක නිලධාරියකු පසුගියදා එම කර්මාන්තශාලාවට කඩා වැදුණු මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබුණු අතර, එම මැර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේම රාජ්‍ය ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් බවට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ආයෝජන මණ්ඩලය මෙසේ පවසයි.

“පසුගියදා කටාන හල්පේ ප්‍රදේශයේ පිහිටි අල් ඔබයිදානී ඇගළුම් කම්හලේ සිදු වු සිදුවිම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය තරයේ හෙලා දකිනු ඇත. මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ සිටම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩලය අදාල කම්හලේ කලමනාකාරීත්වය සමග මෙන්ම ආරක්ෂක හා නීතී අංශ සමග අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදු කරන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල් වූ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සදහා අවශ්‍ය සියළුම පියවර අපගේ විෂයපථය මත උපරිම ශක්තිය යොදමින් කටයුතු කරන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය දන්වා සිටියි. ඕමාන ජාතික ආයෝජකයාගේ මෙන්ම කර්මාන්ත පරිශ්‍රය තුල ආරක්ෂාව මෙන්ම යහ පැවැත්ම තහවුරු කිරීමට ආයෝජන මණ්ඩලය කටයුතු කර ඇත. සමාගමේ කටයුතු සිදුකරගෙන යාම සදහා අවශ්‍ය විකල්ප ස්ථානයක් ලබාදීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් ඇති බවත් ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.”

මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන භුමිය අදාළ රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතුන් විසින් වෙනත් ව්‍යාපාරික අවශ්‍යතාවක් වෙනුවෙන් අත්පත් කරගැනීමේ සුදානමකින් සිටින බවටද වාර්තා සඳහන් කරයි.