June 28, 2026

නිව්යෝර්ක් නගරයේ එළිමහන් පොදු පිහිනුම් තටාක සමය නිල වශයෙන් ආරම්භ කරමින්, එහි නගරාධිපති සොහ්රාන් මම්දානි යුරෝපීය ඇඳුමෙන් සැරසී පිහිනුම් තටාකයකට පැන කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

කබාය, ටයි පටිය, කමිසය මෙන්ම කළු පැහැති මේස් යුගල පවා පැළඳ සිටි මම්දානි, නැගෙනහිර හාර්ලෙම් හි පිහිටි තෝමස් ජෙෆර්සන් පිහිනුම් තටාකයට මෙලෙස පැන සිටියේ එහි සිටි ළමුන් රැසක් ද සමඟිනි.

මෙම සංකේතවත් පැනීමත් සමඟ නිව්යෝර්ක් නගරයේ බල ප්‍රදේශ පහ පුරාම විහිදී ඇති එළිමහන් පිහිනුම් තටාක සැප්තැම්බර් 13 වනදා දක්වා මහජනතාව සඳහා විවෘතව පවතිනු ඇත.

නගරාධිපතිවරයාගේ මෙම අසාමාන්‍ය ඇඳුම් විලාසිතාව කාගේත් කතාබහට ලක් වුවද, එය උද්‍යාන දෙපාර්තමේන්තුවේ නීති රීති තාක්ෂණික වශයෙන් උල්ලංඝනය කිරීමකි.

එම නීතිවලට අනුව පොදු පිහිනුම් තටාක භාවිතා කරන්නන් පිහිනුම් ඇඳුම් පැළඳ සිටීම අනිවාර්ය වේ.

තටාකවල රසායනික සමතුලිතතාවය සහ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නීති රීති පනවා ඇත.

මීට පෙර නිව්යෝර්ක් නගරාධිපති ධුරය දැරූ මයිකල් බ්ලූම්බර්ග් පිහිනුම් තටාක විවෘත කරන දිනයේදී මෙලෙස තටාකයට පැනීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය අතර, මම්දානි ද එම පියවර අනුගමනය කරන්නේදැයි පසුගිය මාර්තු මාසයේදී කළ විමසීමකදී, ඔහු මෙම සම්ප්‍රදාය නැවත පණ ගැන්වීමට ඉඟි කර තිබිණි. කෙසේ වෙතත්, හිටපු නගරාධිපතිවරුන් වන බිල් ද බ්ලැසියෝ සහ එරික් ඇඩම්ස් මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙන නොගියහ.