April 17, 2026

දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ්ගේ ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නියෝජනය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබිණි.

ඒ අනුව, සැකකරු අප්‍රේල් 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රජයට අයත් ඉඩමක් සඳහා සංවර්ධන සැලැස්මක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඉඩම් හිමියකුට අනිසි වාසියක් ලබා දෙන ආකාරයෙන් කටයුතු කිරීමෙන් දූෂණ වරද සිදු කළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.