August 14, 2024

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 වැනිදා තම ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරාගැනීමට මෙරට ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවයි.

එසේම නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද, මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ද වගකීම බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (13) පස්වරුවේ එක්වෙමිනි.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු කිසිදු අයුරකින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය කඳවුරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිස් විශේෂ කාර්ය බළකා උත්තමාචාර සම්මාන පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

සමරු ඵලකය නිරාවරණය කර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කළ ජනාධිපතිවරයා භට නිවාස පරීක්ෂා කිරීමට ද එක්විය.