March 23, 2024

රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංගයක් අතරතුර ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තයන් (IS) එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ මියගිය අය අතර ශ්‍රී ලාංකිකයන් කිසිවකු නොසිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිල මරණ සංඛ්‍යාව අවම වශයෙන් 62ක් වන අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

නගර මධ්‍යයේ වයඹ දෙසින් පිහිටි විශාල ප්‍රසංග ශාලාවක් වන ක්‍රොකස් සිටි හෝල්හි මෙම මාරාන්තික වෙඩි තැබීම සිදුකර ඇත.

වාර්තා පෙන්වා දෙන්නේ සටන් ඇඳුම්වලින් සැරසුණු තුවක්කුකරුවන් කිහිපදෙනකු සිකුරාදා ප්‍රසංග ශාලාවට කඩාවැදුණු බවයි.

ඔවුහු ස්වයංක්‍රීය ආයුධවලින් පිරිසට වෙඩිතැබූහ.

තුවාල ලැබූවන් අතර ළමුන් ද සිටින බව පැවසෙන අතර රුසියානු විදේශ අමාත්‍යාංශය ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැක තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ISIS සංවිධානය (ඉස්ලාමීය රාජ්‍ය) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි.

කෙසේවෙතත්, මෙම ප්‍රහාරය සිදුකළ පාර්ශ්වය පිළිබඳව රුසියානු බලධාරීන් ස්වාධීනව තහවුරු කර නොමැත.

මේ අතර මොස්කව් නුවර ගුවන් තොටුපළ සහ දුම්රිය ස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කර තිබේ.

ප්‍රහාරයෙන් පසු රතු චතුරශ්‍රය ආරක්ෂක හේතුන් මත වසාදමා ඇති බව සමාජ මාධ්‍යවල වාර්තා පෙන්වා දෙයි.