May 23, 2026

රාජ්‍ය  නොවන සංවිධානයක (NGO) නියෝජිතයෙකු ලෙස පෙනීසිටිමින්, කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මහාපරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ 28 හැවිරිදි සැකකරුවකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, කැනඩාවේ සුපිරි වෙළෙඳසැල්වල (Supermarkets) රැකියා අවස්ථා ලබාදිය හැකි බව පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් එකතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ, මෙම සැකකරුට එරෙහිව රුපියල් මිලියන 4කට අධික මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් පමණ ලැබී ඇති බවයි.

කෙසේවෙතත්, මේ වන විටත් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් වංචා කරන ලද මුළු මුදල රුපියල් මිලියන 10 ඉක්මවිය හැකි බව විමර්ශකයෝ විශ්වාස කරති.

සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම සැඟවී සිටිමින් අත්අඩංගුවට පත්වීම මඟහැර සිටි බව නිලධාරීහු පවසති.

පසුව, පොලිස් විශේෂ කාර්යාංශයේ (Police Special Bureau) නිලධාරීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව කුච්චවේලි ප්‍රදේශයේ නිවසක සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මැයි 19 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරුට එරෙහිව මෙවැනිම චෝදනා මත මීගමුව, මඩකලපුව සහ අවිස්සාවේල්ල යන අධිකරණවලද නඩු විභාග වෙමින් පවතින බව කාර්යාංශය හෙළිකර ඇත.

සැකකරු මැයි 20 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ උපදෙස් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබති.