April 26, 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මඟින් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා රිලවියන් ගර්භාෂය තුළට බද්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇති කුඩා ප්‍රමාණයේ නව ලූපයක් හඳුන්වා දී ඇත.

වරක් පැටවකු ප්‍රසූත කළ අවුරුදු එකහමාරක් වයසැති සත්වයකු මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසා ඇත්තේ, ශල්‍යකර්මයෙන් පසු සිදුකළ එක්ස් කිරණ පරීක්ෂණයේදී බද්ධ කළ ලූපය සාර්ථක ලෙස සවිවී ඇති බව නිරීක්ෂණය වූ බවයි.

මෙම උපත් පාලන ක්‍රමය මගින් සත්වයන්ගේ ගැබ් ගැනීම වැළැක්වීම අදහස් කරන බව මහාචාර්ය දංගොල්ල පැහැදිලි කර තිබේ.

සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් භාවිතයෙන් පෙර අවස්ථාවන්වලදී අසාර්ථකවී ඇති බැවින්, මෙවර කුඩා ප්‍රමාණයේ ලූපයක් සෑදීමට තීරණය කර ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා ස්නායු රෝග අංශයේ වෛද්‍යවරුන් සහ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් ද මේ සඳහා සිය විශේෂඥ දැනුමෙන් දායක වී ඇති බව ඔහු සඳහන් කරයි.

“ලූපය තැන්පත් කිරීම සඳහා සත්වයා සන්සුන් කිරීමට පැය භාගයක් ගත වන අතර පසුව සැත්කම සඳහා තවත් පැය භාගයක් ගත වේවෙනවා. මෙම ක්‍රමය මගින් රටේ රිලවුන්ගේ ගහනය පාලනය කිරීමේදී ප්‍රායෝගික භාවිතයේ හැකියාව තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.