October 30, 2026

2027 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර තම පුහුණුකාර මණ්ඩලයේ සිදුකරන සංශෝධනයේ කොටසක් ලෙස, හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, පරාස් මාම්බ්‍රේ සහ කාල් හොප්කින්සන් යන පුහුණුකරුවන්ගෙන් වෙන්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පියවර ගෙන ඇත.

මෙම පුහුණුකරුවන් තිදෙනා ලබාදුන් දායකත්වයට කෘතඥතාව පළකරමින් සහ ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පතමින්, ඔවුන්ගේ සමුගැනීම මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය විසින් නිල වශයෙන් තහවුරු කළේය.

මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයකු වූ මාලිංග, 2024 වසරේදී කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නැවතත් එහි පුහුණුකාර මණ්ඩලයට එක්විය. පරාස් මාම්බ්‍රේ ද පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ අතර කාල් හොප්කින්සන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ දීර්ඝ කාලයක සිට රැඳීසිටි ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන, මෙම මස මුලදී ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම හදිසි වෙනස්කම් සිදුවීම විශේෂත්වයකි. මහේලගේ ඉල්ලා අස්වීමෙන් පසු 2027 IPL තරගාවලිය සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන්ඉරියව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් පත්කරනු ලැබීය.

අවස්ථා 05 කදී IPL ශූරතාව දිනාගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, කණ්ඩායම් 10ක් තරග කළ 2026 තරගාවලියේදී 9 වැනි ස්ථානයට ඇදවැටෙමින් දැක්වූ අසාර්ථක තරග රටාවෙන් පසුව මෙලෙස තම පුහුණුකාර මණ්ඩලය නැවත ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

සමුගත් පුහුණුකරුවන් තිදෙනා වෙනුවට අලුතින් පත්කරන්නේ කවුරුන්දැයි මුම්බායි ඉන්දියන්ස් පිල මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.