October 30, 2026

හෝමාගම පොලිස් ස්ථානයේ සිටියදී මියගිය සැකකරුගේ මරණය පහරදීමකින් සිදු වූ තුවාල හේතුවෙන් සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන බවත්, සැකකරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිලධාරීන් නිසි පටිපාටිය අනුගමනය කර නොමැති බව පිළිගන්නා බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනය පියවර ගෙන තිබේ.

සිදුවෙමින් පවතින විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, වෛද්‍ය වාර්තාවලට අනුව සැකකරුගේ ඉළඇට තුනක් බිඳී ගොස් ඇති අතර, හිසට සිදු වූ තුවාල සහ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙම මරණය පහරදීමක් හා සම්බන්ධ බවට පොලිසිය විශ්වාස කළ ද, ඊට අදාළ නිශ්චිත හේතුව සහ සිදුවූ ආකාරය තහවුරු කරගත හැක්කේ වෛද්‍ය පරීක්ෂණ සහ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව පමණක් බව ඔහු පැවසීය.

සැකකරු හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ රැඳවුම් භාරයේ සිටියදී පහරදීමට ලක්වන්නට ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වෙතත්, එම චෝදනාව මෙතෙක් සනාථ වී නොමැති අතර ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බව ද ඔහු අවධාරණය කළේය.