June 5, 2026

දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සහ ඒවායේ නියාමන කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් නව රෙගුලාසි හඳුන්වා දීමට පියවර ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා වන විධිමත් මාර්ගෝපදේශ මාලාවක් මේ වන විටත් සකස් කර ඇති අතර, එය ඉදිරියේදී අනුමැතිය සඳහා පළාත් සභාවලට යොමු කිරීමට නියමිත බව විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේය.

අමාත්‍යවරයාට අනුව, මේ වන විට මෙරට නිල වශයෙන් ලියාපදිංචි කර ඇති වැඩිහිටි නිවාස සංඛ්‍යාව 455 කි.

එමඟින් වයෝවෘද්ධ පුද්ගලයන් 10,000 කට අධික පිරිසකට රැකවරණය සැලසේ.

කෙසේ වුවද, නිසි ලියාපදිංචියකින් තොරව තවමත් ආයතන රැසක් පවත්වාගෙන යනු ලබන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යෝජිත නව රෙගුලාසි යටතේ සියලුම වැඩිහිටි නිවාස සඳහා ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන අතර, එමඟින් ඒවායේ ප්‍රමිතිය සහ රැකවරණයේ ගුණාත්මකභාවය නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.

මේ අතර, පසුගියදා ඇති වූ ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ නේවාසිකයන්ට සහන සැලසීමට රජය වහාම පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, වැඩිහිටියන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා අදාළ ස්ථානය වෙත ගොස් පීඩාවට පත් වූවන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

පසුගිය බදාදා අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගින්නෙන් එහි නේවාසිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අට දෙනෙකු තුවාල ලැබූහ.