July 17, 2026

කොංගෝ රාජ්‍යයේ වනාන්තරවලින් කැපී පෙනෙන තැඹිලි පැහැති තොල් සහ ගැඹුරු ගොරවන හඬකින් යුත් නව වඳුරු විශේෂයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ.

ප්‍රකට ‘PLOS ONE’ විද්‍යාත්මක සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකට අනුව, විද්‍යාඥයන් විසින් පසුගිය වසර 75 තුළ අප්‍රිකානු මහාද්වීපයෙන් සොයාගත් පස්වන නව වඳුරු විශේෂය මෙයයි.

Colobus congoensis ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මෙම වඳුරා ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ ‘ලික්වේලි’ (Likweli) යන නමිනි.

ෆ්ලොරිඩා ඇට්ලන්ටික් විශ්වවිද්‍යාලයේ සහ නිව්යෝර්ක් සිටි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරන පරිදි, මෙම වඳුරා සතු දිලිසෙන සුළු කළු පැහැති සිරුර, දිගු ලොම්, දිග හැරුණු වලිගය සහ මුහුණේ ඇති ආකර්ෂණීය තැඹිලි-ක්‍රීම් පැහැති සලකුණු කැපී පෙනේ.

දැනට අප්‍රිකාවෙන් හමුවන අනෙකුත් සියලුම Colobus වඳුරන්ගෙන් මෙම විශේෂය වෙන්කර හඳුනාගත හැකි සුවිශේෂී හිස්කබලක්, දත් පිහිටීමක් සහ අස්ථි පද්ධතියක් මොවුන් සතු බව පර්යේෂකයින් පවසයි.

සෙසු කොලොබස් වඳුරන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වන මෙම සතුන්ගේ සාමාන්‍ය බර රාත්තල් 15ක් (කිලෝග්‍රෑම් 6.8ක් පමණ) වේ.

ෆ්ලොරිඩා ඇට්ලන්ටික් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ ආලෝකය පරාවර්තනය වන සිනිඳු ලොම් තට්ටුව, මුහුණේ ඇති දිගු කළු පැහැති රෝම සහ නමා ඇති විශාල කන් නිසා මෙම සත්වයාගේ මුහුණට ඉතා සුවිශේෂී පෙනුමක් ලැබී ඇති බවයි.

මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරියක මෙන්ම FAU විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරියක වන කේට් ඩෙට්විලර් පවසන්නේ, Colobus congoensis ගේ මෙම සොයාගැනීම අප්‍රිකානු වඳුරන්ගේ පරිණාමය පිළිබඳ පවතින අවබෝධය සම්පූර්ණයෙන්ම අලුත් මාවතකට යොමු කරන්නක් බවයි.