July 6, 2026

විශ්වය තුළ ජීවය පැවතීමට ඉහළම විභවයක් සහිත සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇත. අපෙන් ආලෝක වර්ෂ 25ක් වැනි සාපේක්ෂව ආසන්න දුරකින් පිහිටි මෙයට විද්‍යාඥයන් තබා ඇති නම GJ 3378b ය.

පෘථිවිය මෙන් දෙගුණයකට වඩා විශාල මෙම ග්‍රහලෝකය අයත් වන්නේ ‘සුපිරි පෘථිවි’ (Super-Earth) ගණයටයි. මෙය ‘රතු වාමන’ (Red Dwarf) වර්ගයට අයත් තරුවක් වටා කක්ෂගතව පවතී. මෙම සොයාගැනීමේ ඇති වැදගත්ම සුවිශේෂත්වය වන්නේ, ග්‍රහලෝකය පිහිටා ඇත්තේ එහි මව් තරුවේ ‘වාසයට සුදුසු කලාපය’ හෙවත් ‘රන්වන් කලාපය’ තුළ වීමයි. යම් ග්‍රහලෝකයක මතුපිට ද්‍රව ජලය පැවතීමට අවශ්‍ය සුදුසුම උෂ්ණත්වය පවතින්නේ මෙම කලාපය තුළය.

ඇමෙරිකාවේ ටෙක්සාස්හි මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරයේ ඇති මීටර් 10ක් විශාල ‘Hobby-Eberly’ දුරේක්ෂය සහ ඇරිසෝනාහි පිහිටි ‘WIYN’ දුරේක්ෂය ආධාරයෙන් මෙම සොයාගැනීම සිදුකර තිබේ. පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන විකිරණ ප්‍රමාණයෙන් 90%ක්ම මෙම සුපිරි පෘථිවියට එහි මව් තරුවෙන් ලැබෙන බැවින්, එය ජීවය පැවතීමට ඉතාමත් සමතුලිත මට්ටමකි.

කෙසේවෙතත්, මෙහි තවමත් විසඳී නොමැති ප්‍රධානතම ගැටලුව වන්නේ ‘මීට වායුගෝලයක් පවතීද?’ යන්නයි. විද්‍යාඥ පෝල් රොබට්සන් පවසන්නේ පෘථිවිය ඇපල් ගෙඩියක් තරම් කළහොත් එහි වායුගෝලය ඇපල් ලෙල්ල තරම් තුනී වන නමුත්, ජීවය රැක ගැනීමට එය අත්‍යවශ්‍ය වන බවයි. සූර්ය විකිරණ නිසා අඟහරුට සිය වායුගෝලය අහිමි වූවාක් මෙන්, GJ 3378b ද පිහිටා ඇත්තේ මව් තරුවේ විකිරණ හමුවේ වායුගෝලය රඳවා ගත හැකිද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක කාරණය මත ය.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වන ගොගොඩ් ජේම්ස් පවසන්නේ, අනාගතයේ නිපදවෙන ප්‍රබල දුරේක්ෂ මඟින් මෙහි වායුගෝලයක් ඇති බව තහවුරු වුවහොත්, එහි ද්‍රව ජලය සහ ජීව විද්‍යාත්මක සලකුණු සෙවීමට මඟපෑදෙනු ඇති බවයි.