July 29, 2026

වඩාත් කාර්යක්ෂම, ඒකාබද්ධ සහ මගී හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන (Multimodal Transport Centers) කළමනාකරණය කිරීම සඳහා භාණ්ඩාගාරය සතු සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බස් රථ, දුම්රිය, කුලී රථ සහ සසුදුසු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් අතර සුමට මාරුවීමක් සහ කාර්යක්ෂම සම්බන්ධතාවයක් තහවුරු කිරීම සඳහා බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන හොඳම විසඳුමක් ලෙස රජය හඳුනාගෙන ඇත.

වත්මන් තත්ත්වය අනුව මාකුඹුර සහ කඩවත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර (දකුණ) සහ මහනුවර යන මධ්‍යස්ථානයන්හි ඉදිකිරීම් කටයුතු දැනට සිදුකරමින් පවතී.

2025 දෙසැම්බර් 29 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලනය, ප්‍රමිතීන් පවත්වාගෙන යාම, ව්‍යාපාරික සංවර්ධනය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය අධීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ස්ථිර ආයතනික ව්‍යුහයක අවශ්‍යතාව සාකච්ඡාවට ලක්ව තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව 2024 අංක 44 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනතට අනුකූලව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ සීමිත පොදු සමාගමක් පිහිටුවීමට යෝජනා වී ඇත.

මෙම සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය මහා භාණ්ඩාගාරය සතුවනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන බහුමාධ්‍ය ප්‍රවාහන ජාලය වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට මග පෑදෙනු ඇත.