June 24, 2026

ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමාකිරීම අරමුණු කරගනිමින් සකස් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් ඉදිරිපත් කරන ලද මෙම ‘සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත’ මඟින්, දරුවන් අන්තර්ජාලය ඔස්සේ අහිතකර අන්තර්ගතයන්ට සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම වැළැක්වීම මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා සපයන ආයතන සඳහා නව රෙගුලාසි හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

මෙම කෙටුම්පත් නීතියට අනුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සේවා සපයන්නන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට එම සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීමට සහ වයස් සීමාවන් පනවා ඇති පරිශීලකයින් වෙනුවෙන් විශේෂ සීමා පැනවීමට කටයුතු කළ යුතුය.

මීට අමතරව, ඇතැම් අන්තර්ජාල සේවාවන් සඳහා දරුවන්ට ගත කළ හැකි කාලය මෙන්ම ඔවුන්ට ඒවා පරිශීලනය කළ හැකි දවසේ වේලාවන් සීමාකිරීමට ද මෙම පනත මඟින් අවකාශ සැලසේ.

මෙම යෝජනාවට අනුව, අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය ජාලා විසින් මෙම සීමාවන් අනිවාර්යයෙන්ම බලාත්මක කළ යුතු බවට වන රෙගුලාසි හඳුන්වා දීමට අදාළ විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරේ.

එමෙන්ම, මෙම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, පැමිණිලි භාරගැනීම, විමර්ශන පැවැත්වීම සහ නීතිය බලාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරිය යටතේ විශේෂ ‘බලලත් කොමසාරිස්වරයෙකු’ පත්කිරීමට ද මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙම කෙටුම්පතට අනුව, ‘ළමයෙකු’ ලෙස අර්ථ දක්වා ඇත්තේ වයස අවුරුදු 16ට අඩු පුද්ගලයන් වන අතර, ‘වයස් සීමාවන් පනවා ඇති පරිශීලකයකු’ යන්නෙන් අදහස් කරන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කර නොමැති ශ්‍රී ලාංකික දරුවෙකි.

මෙම පනත් කෙටුම්පත සම්මත වී නීතියක් බවට පත්වුවහොත්, ශ්‍රී ලංකාව තුළ සිටින පරිශීලකයින්ට සේවා සපයනු ලබන සියලුම නිශ්චිත සමාජ මාධ්‍ය සේවා ආයතන සඳහා මෙම නීතිය අදාළ වනු ඇත.