June 8, 2026

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ (Chartered Institute of Media Professionals of Sri Lanka) පිහිටුවීම සඳහා වන නව පනත් කෙටුම්පතක් රජය විසින් මේ සතියේ ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම පනත් කෙටුම්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

පනත් කෙටුම්පතට අනුව, මෙම ආයතනය ජනමාධ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත සංස්ථාවක් ලෙස ස්වාධීනව කටයුතු කරනු ඇත.

නියමිත සුදුසුකම් සපුරා ඇති ජනමාධ්‍ය වෘත්තිකයන් ආයතනයේ සාමාජිකයන් ලෙස බඳවාගැනීම සිදුවන අතර, එහි සාමාජිකයන්ට සහ ශිෂ්‍යයන්ට අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමට ද කටයුතු කෙරේ.

මෙහි ප්‍රධාන කාර්යභාරයන් සහ බලතල:

– ප්‍රමිතිගත පුහුණුව: මාධ්‍ය වෘත්තිකයන්, සාමාජිකයන් සහ සිසුන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය පුහුණුව සම්පාදනය කිරීම.

– විනය නීති පද්ධතිය: විශේෂිත සදාචාර පද්ධතියකට (Code of Conduct) අනුව වෘත්තීය විනය පවත්වාගෙන යාම සහ විනය කඩකරන සාමාජිකයන්ට මෙන්ම සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලතල පැවරීම.

– පර්යේෂණ හා නව ප්‍රවණතා: ගෝලීය සන්නිවේදන සහ නව මාධ්‍ය ප්‍රවණතා සංවර්ධනය කිරීම උදෙසා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදුකිරීම සහ ඒවාට අනුග්‍රහය දැක්වීම.

– වෘත්තීය ඇගයීම: ජනමාධ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව සහ නිපුණතාව ඇගයීමට ලක්කරමින්, ඔවුන් වෘත්තීය මට්ටමේ ජනමාධ්‍යවේදීන් ලෙස පිළිගැනීම (Accredit).

මෙම පනතට අනුව ජනමාධ්‍ය සේවකයන් (Media Personnel) යන කාණ්ඩයට ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් ඇතුළත් කර ඇත.

ඒ අනුව; ජනමාධ්‍යවේදීන්, කතුවරුන්, ප්‍රකාශකයන්, ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්, ජනමාධ්‍ය කළමනාකරුවන්, ජනමාධ්‍ය අධ්‍යාපනඥයන්, ජනමාධ්‍ය තාක්ෂණ ශිල්පීන්, කැමරා ශිල්පීන්, විකාශකයින්, නිවේදකයින්, පුවත් ඉදිරිපත් කරන්නන්, ලේඛකයන් සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන් (Content Developers) යන සියලුදෙනා මෙම විෂය පථයට අයත්වන බව දැක්වේ.