June 5, 2026

මැලේසියාවේදී පැවැති කාන්තා ප්‍රිමියර් කප් 20-20 ක්‍රිකට් තරගාවලියේ භූතානයට එරෙහි තරගයකදී, නේපාල කාන්තා කණ්ඩායම විසින් සිදුකළ ‘කාලය ඉකුත් වීමෙන් දවාගැනීමේ’ (Timed-out) ඉල්ලීමක් සම්බන්ධයෙන් නේපාල ක්‍රිකට් සංගමය සමාව අයැද තිබේ.

නේපාලය ලබාදුන් ලකුණු 113ක ඉලක්කය හඹායෑම සඳහා භූතාන කණ්ඩායම පිටියට පිවිසි අතර, එහිදී ඉනිමේ පළමු පන්දුවෙන්ම ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසු මෙම අසාමාන්‍ය සිදුවීම සිදුවිය.

පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි භූතාන ක්‍රීඩිකා රිට්ෂි චොඩන් ඒ සඳහා සූදානමින් නොසිටි බව පෙනෙන්නට තිබූ අතර, ඇය සිය හිස්වැස්ම අතැතිව කඩිනමින් පිතිකරණ සීමාව වෙත දිවඑනු දක්නට ලැබිණි.

කෙසේවෙතත්, නියමිත කාලය තුළ ක්‍රීඩා කිරීමට ඇය අපොහොසත් වීම හේතුවෙන් නේපාල ක්‍රීඩිකාවෝ ඒ පිළිබඳව විනිසුරුවන්ගෙන් විමසමින් ‘Timed-out’ දවාගැනීමක් සඳහා ඉල්ලීමක් කළහ.

විනිසුරුවන් එම ඉල්ලීම පිළිගත් අතර, ඒ අනුව භූතාන කණ්ඩායමට පළමු පන්දුවෙන් පසුවම කඩුලු දෙකක් අහිමි විය.

ක්‍රිකට් නීති රීතිවලට අනුව මෙම දවාගැනීම වලංගු වුවද, එය ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි ක්‍රියාවක් ලෙස දැඩි විවේචනයට ලක්විය.

තරගයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් නේපාල ක්‍රිකට් සංගමය ප්‍රකාශ කළේ, මෙම සිදුවීම තම සංවිධානය සැමවිටම අගය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් සහ ජීව ගුණය පිළිබිඹු නොකරන බවයි.

“මෙම දවාගැනීම ක්‍රිකට් නීතිරීතිවලට අනුකූලව සිදුවූවක් වුවද, ක්‍රීඩාවේ ජීව ගුණය ලිඛිත නීතිවලින් ඔබ්බට යන බවත්, අපගේ හැසිරීම්වලදී එය සැමවිටම ප්‍රධාන විය යුතු බවත් අපි පිළිගනිමු” යැයි එම නිවේදනයේ සඳහන් විය.

භූතාන ක්‍රිකට් ආයතනයෙන්, අදාළ ක්‍රීඩිකාවගෙන් සහ සියලුම ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයැද සිටි නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය, තමන් සැමවිටම ක්‍රීඩාශීලීත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාධාරණ ක්‍රීඩාව වෙනුවෙන් පෙනීසිටින බවද වැඩිදුරටත් පැවසීය.

මෙම තරගයෙන් නේපාල කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, පන්දුවාර 20 අවසානයේ භූතාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 62ක් පමණි.