June 25, 2023

සහතික මිලට වී මිලදී ගැනීමට රජය කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවි නියෝජිතයන් හමුවීමෙන් පසුවය.

මේ වනවිට වී කිලෝ ග්‍රෑමයක් සදහා රුපියල් 100ක සහතික  මිලක් ගොවීන්ට ලබා දෙනවායැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී  ඇතිබව මෙහිදී ගොවීන් විසින් නාමල් රාජපක්ෂට පෙන්වා දෙනු ලැබීය.

සහතික මිල ලෙස රුපියල් 100ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් වී කිලෝ ග්‍රෑමයක් සදහා රුපියල් 150ක් වත් ලබා දියයුතු බව ගොවීන් පෙන්වා දුනි.

තම වියදම පියවා ගැනීමට පවා අවම වශයෙන් වී කිලෝ ග්‍රෑමයකට රුපියල් 130ක මුදලක් ලැබිය යුතු බව ගොවි නියෝජිතයෝ නාමල් රාජපක්ෂට දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේදී වී අලෙවි මණඩලය ශක්තිමත් කර   සහතික මිලකට වී මිලදී ගත් බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබිණි.

ඇතැම් නායකයින් පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කළ බවත් අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පවා පොහොර සහනාධාරය ඇතුල් කිරීම පවා ඇතැම් නායකයින් ප්‍රතික්ෂේප කර තිබුණු බව නාමල් රාජපක්ෂ පැවසීය.

කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් දිගින් දිගටම එම වැරද්ද පිළිබඳ කතා කිරීමෙන් ඵලක් නැති බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

දැන් කළ යුත්තේ වී ගොවීන්ගේ අස්වනු සදහා නියම සාධාරණ මිලක් ලබාදිය යුතු බවයි.

දැනටමත් බෝඩ්වලට සීමා වී ඇති වී මිලදී ගැනීම් වහාම ආරම්භ කළයුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

වි මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කරන ලෙසත්, ඉදිරියේදී  වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙස රජයට දැනුම් දෙන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.