April 15, 2026

හබරදුව ,කොග්ගල නිදහස් වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නාමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු දිය වැලකට හසුවී මියගොස් ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මොවුන් මුහුදේ ගසාගෙන යමින් සිටියදී හබරාදුව පොලිසිය සහ අසල පිහිටි සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂකයන් විසින් ගොඩගෙන ඔවුන් මීපේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පැවසුවේ ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බවය.

මෙසේ මියගොස් ඇත්තේ කටුනායක ලර්දු ස්ටේෂන් මාර්ගයේ පදිංචි ජූඩ් ශෙවන්ත පෙරේරා (26) සහ ඇන්ටන් ෂෙනාල් පෙරේරා (21) යන සහෝදරයන් දෙදෙනෙකි.

එම ස්ථානය ආසන්නව ධීවර කටයුතු යෙදෙන රිටිපන්න ධීවරයන් පැවසුවේ මෙම ස්ථානය දිය නෑම සඳහා ඉතාම අනතුරුදායක බවයි.

මීට පෙරද කීප දෙනෙකු මෙම ස්ථානයේ අනතුරට පත්ව සිටියදී බේරා ගෙන ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.