July 19, 2026

හොරණ – මොරගහහේන මාර්ගයේ කණන්විල පන්සල අසල වංගුවේදී අද (19) අලුයම මෝටර් සයිකලයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් සයිකලය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී, වැලි පටවාගෙන ආ ටිපර් රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් අද අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෝටර් සයිකල්කරු සහ පසුපස ගමන් කළ තරුණයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දිල්ෂාන් මධුසාර සෙනෙවිරත්න සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උදීෂ සිත්මිණ නැමැති තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙම තරුණයන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

අනතුරෙන් පසු ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.