July 16, 2026

පසුගිය ජූනි මස අගභාගයේ සිට මියන්මාරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු වූ මාරක බෝට්ටු අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) සහ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, පුද්ගලයන් 500 කට වැඩි පිරිසක් රැගත් බෝට්ටු දෙකක් මියන්මාර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පෙරළී ගොස් ඇති බවට වාර්තා වී ඇති බවයි.

මූලික තොරතුරුවලට අනුව, යුද ගැටුම්වලින් පීඩාවට පත් මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයෙන් මෙම බෝට්ටු දෙක පසුගිය ජූනි අගභාගයේදී පිටත්ව තිබේ.

එහි ගමන් කර ඇත්තේ මියන්මාරයේ වෙසෙන මුස්ලිම් සුළුතර ජනකොටසක් වන රොහින්ග්‍යා වැසියන්ය.

මෙයින් ඇතැම් පිරිස් බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි පිහිටි අතිවිශාල සරණාගත කඳවුරුවල සිට පැමිණි අය බව ද සඳහන් වේ. දැනට රොහින්ග්‍යා සරණාගතයින් මිලියනයකට අධික පිරිසක් එම කඳවුරුවල ඉතා අසීරු තත්ත්වයන් යටතේ ජීවත් වෙති.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන මෙවැනි අබලන් බෝට්ටු මඟින් රොහින්ග්‍යා වැසියන් සෑම වසරකම වඩාත් යහපත් ජීවිතයක් සොයා මෙවැනි අවදානම් සහගත මුහුදු ගමන්වල නිරත වේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ආයතනයට අනුව, පසුගිය වසරේ පමණක් මෙලෙස මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ 6,500 කට අධික පිරිසක් අතරින් 900 කට ආසන්න පිරිසක් උතුරු ඉන්දියන් සාගරයේදී මියගොස් හෝ අතුරුදන් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයට අනුව, පුද්ගලයන් 250ක් පමණ රැගත් පළමු බෝට්ටුව ගමන ආරම්භ කර සුළු වේලාවකින් සන්නිවේදනය බිඳ වැටී අතුරුදන් වී ඇත. පුද්ගලයන් 280ක් පමණ රැගත් දෙවැනි බෝට්ටුව ජූලි 8 වැනිදා මියන්මාරයේ අයෙයාවඩි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගොස් ඇති බවට විශ්වාස කෙරේ.