February 11, 2024

අත්‍යවශ්‍ය ඖෂධ 150කට අධික ප්‍රමාණයක් දැනට වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති බව වාර්තා වේ.

මෙම හිඟය රෝහල් කිහිපයකට දැඩි ලෙස බලපා ඇති අතර රෝගීන්ගේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව කරගෙන යෑමට ද බාධාවක් වී තිබේ.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය G. විජේසූරිය අනාවරණ කළේ සති තුනකට පමණ පෙර ඖෂධ වර්ග 300ක පමණ හිඟයකට රට මුහුණ දී සිටි බවයි.

එය අවම කිරීමට ගත් උත්සාහයන් නිසා මේ වනවිට එම හිඟ ඖෂධ සංඛ්‍යාව 150ක් පමණ දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කළේය.

“ආයතනික වශයෙන් ඖෂධ සහ උපකරණ වර්ග 70ක් හිඟ වී තිබුණත් මේ වනවිට එම සංඛ්‍යාව 40 දක්වා අඩු වී තිබෙනවා. එම 40 සඳහා පවා ආදේශක තිබෙනවා. උදාහරණයක් ලෙස, ඇමොක්සිසිලින් හිඟයක් තිබෙනවා, නමුත් ඊට සුදුසු ආදේශකයක් වන cephalexin ලබා ගැනීමට හැකියාව තිබෙනවා,” යැයි වෛද්‍ය විජේසූරිය පැහැදිලි කළේය.

රෝහල් සහ වෛද්‍ය සැපයුම් අංශය අතර සම්බන්ධීකරණය පිළිබඳ තවදුරටත් විස්තර කරමින් ඔහු පැවසුවේ වෛද්‍ය සැපයුම් අංශය රෝහල්වලින් සෑමවිටම අඩුපාඩු සම්බන්ධයෙන් විමසන අතර ඔවුන්ට යම් යම් ඖෂධ නොමැති නම් ඔවුන් ඒ බව දැනුම්දෙන බවයි.

වෛද්‍ය සැපයුම් අංශය තොග නැවත ලබාදෙන තුරු ඔවුන් දේශීය මිලදී ගැනීම් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම උත්සාහයන් ද නොතකා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් දැනට නොමැති බව වෛද්‍ය විජේසූරිය පිළිගත්තේය.

“ඉදිරි සති තුන ඇතුළත මෙම හිඟයත් විසඳීමට අපි අපේක්ෂා කරනවා. අපට මූලික ප්‍රතිපාදන තිබෙනවා. මේ වසරේ සැළකිව යුතු මුදලක් වෙන්කර තිබෙනවා,”යැයි ඔහු තවදුරටත් පැවසීය.

පසුගිය වසර අවසන් වන විට, ආසන්න වශයෙන් රට පුරා රජයේ රෝහල් 40ක් පමණ වැසී ගොස් තිබූ අතර, තවත් රෝහල් 100ක් වැසී යෑමට ආසන්න වී තිබේ.

ගැටලු පවතින රෝහල්වලට පුද්ගලයන් වෙන්කර රෝගීන් සඳහා තීරණාත්මක ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රෝහල් මුහුණදුන් ප්‍රධානතම ගැටලුව වූයේ ඖෂධ හා වෛද්‍යවරුන්ගේ හිඟයයි.

ශ්‍රී ලංකාව අතීතයේ දී ද විවිධ අවස්ථාවල විටින්විට ඖෂධ හිඟයන්ට මුහුණ දී තිබේ.

විදේශ විනිමය හිඟයකින් පැන නැගී ඇති මෑත කාලීන දරුණු ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් ඇති කරමින් තත්ත්වය තීව්‍ර කර ඇත.

ශ්‍රී ලංකාවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් 85%ක් ආනයනය මත රඳා පවතී.