May 14, 2026

රජයේ රෝහල්වල හෘද සැත්කම් සඳහා රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් දැනට පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානය පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා වන ඉහළ යන පිරිවැය හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එය දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ පෞද්ගලික රෝහල්වල බයිපාස් සැත්කම් සහ ස්ටෙන්ට් දැමීමේ මූලික පිරිවැය මේ වනවිට රුපියල් මිලියන 1.5 ඉක්මවා ඇති අතර රෝහල්ගත වීමේ කාලය සහ දැඩි සත්කාර ප්‍රතිකාර මත පදනම්ව මුළු වියදම තවදුරටත් ඉහළ යන බවයි.

ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ ප්‍රධාන රෝහල්වල හෘද සැත්කම් සහ ඒ ආශ්‍රිත රෝග විනිශ්චය පරීක්ෂණ සඳහා රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් බලා සිටින බව ද ඔහු පැවසීය.

වෛද්‍ය සංජීව චෝදනා කළේ ඇතැම් රෝගීන්ට සැත්කම් සඳහා මාස 29ක් දක්වා බලා සිටීමට සිදු වී ඇති අතර එමඟින් බොහෝ දෙනෙකු පීඩාවට හා අවිනිශ්චිතතාවට පත්ව ඇති බවයි.

ජනාධිපති අරමුදල හෘද සැත්කම් සඳහා මූල්‍ය ආධාර ප්‍රකාශයට පත් කර තිබුණද, එම සහයෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවට සාක්ෂි නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඵලදායී ජාතික සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක් නොමැතිකම හේතුවෙන් විශේෂයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රතිකාර ලබා ගන්නා පිරිස මත අමතර බරක් පැටවී ඇති බව ද ඔහු පැවසීය.

ඇතැම් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ හිඟය සහ රෝගීන්ට පෞද්ගලික ආයතනවලින් රසායනාගාර පරීක්ෂණ කිහිපයක් ලබා ගැනීමේ අවශ්‍යතාව හෘද ප්‍රතිකාර ලබා ගන්නා අඩු ආදායම්ලාභී රෝගීන් මුහුණ දෙන දුෂ්කරතා තවදුරටත් උග්‍ර කර ඇති බව වෛද්‍ය සංජීව පැවසීය.