June 4, 2025

ජනමාධ්‍ය නිදහස තම පෞද්ගලික න්‍යායපත්‍ර සාක්ෂාත් කරගැනීම සඳහා මෙවලමක් ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස පවසමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවූයේය.

අද පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් ජනමාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු පතුරුවමින් තම ජනමාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් ජනමාධ්‍ය ආයතනයක් ගැන අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී සඳහන් කළේය.

“ඔබ කුමක් කීවත්, ඔබේ සහෝදරයාට ජනාධිපති සමාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ මාධ්‍ය හරහා අපට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් ඔබට ජනාධිපති සමාවක් ලබාගැනීමට හැකිවෙන්නේ නැහැ” ඔහු පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිසිදු අසනීපයක් නොමැතිව වසර එකහමාරකට වැඩි කාලයක් බන්ධනාගාර රෝහලේ රැඳී සිටි බවද අධිකරණ අමාත්‍යවරයා ද හෙළිකළේය.

“සියලුම සිරකරුවන්ට සමාන ප්‍රතිකාර ලබා දිය යුතු බවට අපි දැඩි ලෙස විශ්වාස කරනවා. අවසානයේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කිසිදු අසනීපයක් නොමැති බව සොයාගත්තා. පසුව ඔහු නැවත බන්ධනාගාරයට යොමුකළා” අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනමාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිත කරන බවට අනාවරණය වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.