August 2, 2025

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී ඉන්දියාවේ දී ක්‍රිකට් තරගයකට සහභාගී වනු ඇතැයි වාර්තා වේ.

එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර එහිදී ඔහු සිය මංගල ක්‍රිකට් තරගයට සහභාගී වීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි, එම්එස් දෝනි, රෝහිත් ෂර්මා සහ සචින් තෙන්ඩුල්කාර් වැනි ඉන්දීය ක්‍රිකට් තරු සමඟ මෙසී සහභාගී වන සත් සාමාජික ක්‍රිකට් තරඟයක් සඳහා වන්කඩේ ක්‍රීඩාංගණය වෙන් කරන ලෙස උත්සව කළමනාකරණ සමාගමක් මුම්බායි ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

“මෙසී දෙසැම්බර් 14 වැනිදා වන්කඩේ හි දකින්නට ලැබෙයි, බොහෝ විට හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරන්න ඉඩ තිබෙනවා. අවසන් තීරණය ගත් පසු සංවිධායකයන් සවිස්තරාත්මක කාලසටහනක් නිකුත් කරනවා.” යනුවෙන් සංවිධායකයෙක් පවසා තිබේ.

මෙසීගේ ඉන්දීය සංචාරයේ දී ඔහු නවදිල්ලියට සහ කොල්කටාවට ද පැමිණීමට නියමිතය.

ඔහුගේ මෙම සංචාරය සිදුවන්නේ කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේ වෙනිසියුලාවට එරෙහිව මිත්‍රශීලී තරඟයක් සඳහා ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සමඟ 2011 දී කළ සංචාරයෙන් පසුව වන අතර එය ඔහුගේ දෙවැනි ඉන්දීය සංචාරය වනු ඇත.