June 16, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම විශේෂ අවධානයට ලක්විය යුතු අංශ දෙකක් ඉස්මතු කරනු ලබයි. පළමුවැන්න උතුරේ සහ නැඟෙනහිර යුද්ධය උද්ගතව තිබුණු කලාපවල පවතින ඉහළ මට්ටමේ නිරීක්ෂණ කටයුතු ය. මේ පළාත් දෙකේ සංචාරක ස්ථානවල පවා විශාල වශයෙන් නිල ඇඳුමින් සැරසී සිටින පිරිස්, රටේ එම ප්‍රදේශවලට පැමිණෙන අමුත්තන්ට පෙනෙන්නේ නැත. ඒවා 1970 ගණන්වල අගභාගයේ සිට පැවති සහ 2009 මැයි මාසයේදී අවසන් වූ නොසන්සුන් සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පිළිබඳ දෘශ්‍යමාන මතක් කිරීමක් ලෙස එලෙසම පවතී. සිදුවීම් බහුල වසර 14ක් ගෙවී ගියද, රටේ ප්‍රචණ්ඩකාරී අතීතයේ නෂ්ඨාවශේෂ ඉවත්කිරීමට නොහැකිවීම, රටේ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ පවා ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් තවමත් සිදුකෙරෙමින් පවතින විශාල වියදම් මගින් නිරූපණය කෙරේ.

වෙරිටේ රිසර්ච්(Verite Research) ආයතනයෙහි නවතම අනාවරණයන් විසින් පෙන්වා දී ඇත්තේ, 2023 අයවැය ඇස්තමේන්තු වලට අනුව, සමස්ත රාජ්‍ය වියදමින් සියයට 48කට ආරක්ෂක අංශය හිමිකම් කියන බවයි. හමුදාව එම සමස්ත වියදම්වලින් සියයට 32ක් වැටුප් ලෙස ලබාගන්නා අතර, සියයට 16ක් අනෙකුත් ආරක්ෂක සේවා සඳහා යොදවයි. ලෝක බැංකු දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය 2017 සහ 2019 අතර සාමාජිකයන් 317,000ක ඉහළම මට්ටමක පැවැතිණි. 2021 වසරේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ (ISAS) ප්‍රකාශනයකට අනුව, ශ්‍රී ලංකාවේ යුධ හමුදාව එක්සත් රාජධානිය පවා ඉක්මවා, ලෝකයේ 17 වැනි ඉහළම හමුදා සමාජිකත්ව අගය ගනී. රාජ්‍ය විරෝධී හැඟීම් සඳහා සාරවත් භූමියක් සපයන උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල විශාල ලෙස හමුදා භට පිරිස් තවදුරටත් යොදවා ඇත.

උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල ඇති ප්‍රබල ජනතා හැඟීමක් වන්නේ, ඉඩම් කොල්ලයට අනුබල ලබාදීම සහ තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම දිරිගැන්වීම ඇතුළු දෙමළ ජනතාව අඩපණ කිරීමේ විවිධ වැඩසටහන්වලට ආරක්ෂක හමුදා සම්බන්ධ වී ඇති බවයි. කෙසේ වෙතත්, ඉහළ මට්ටමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ සාපරාධීත්වය පිළිබඳ ගැටලුව උතුර- නැගෙනහිරට පමණක් සීමා නොවී රටේ අනෙකුත් සියලුම ප්‍රදේශවල, විශේෂයෙන් කොළඹ අගනුවරද දක්නට ලැබේ. උතුර- නැඟෙනහිර මෙන් නොව, රටේ දකුණේ සැකයේ ප්‍රධානතම මූල ගැටලුව වන්නේ, ආරක්‍ෂක හමුදාව තම මෙවලම් ලෙස භාවිත කරන සර්වබලධාරී දේශපාලකයන්ගේ දඩබ්බරකමයි. අරගලය පැවැති වකවානුවේ, පාර්ලිමේන්තුවේ 225ම ඉවත්ව යා යුතුය යන සටන් පාඨය ප්‍රචලිත කරනු ලැබූවේ මෙම හැඟීමයි.

රටපුරා නිරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් සම්බන්ධ සිද්ධිය කේන්ද්‍රගත වන්නේ උතුරේ නිරීක්ෂණ ප්‍රශ්නය වටාය. මන්ත‍්‍රීවරයාට අනුව, ඔහු මහජන පිටියක, ක්‍රීඩා සමාජයක සාමාජිකයන් වන තම ඡන්දදායකයන් විසිදෙනකු සමඟ රැස්වීමක් පවත්වමින් සිට ඇත. ඔහු ඔවුන් සමඟ කතාකරමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ගේ යතුරුපැදිය අඩි 10-15ක් පමණ දුරින් නවතාගෙන සිට ඇති අතර, ඔවුන් කවුරුන්දැයි විමසූ විට හැඳුනුම්පත් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. මොවුන් සිවිල් ඇඳුමින් සැරසී බුද්ධි තොරතුරු රැස්කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් බව පසුව අනාවරණය විය. මෙය උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල සුලභ සිදුවීමක් වන අතර, රටේ අනෙකුත් ප්‍රදේශවලද එවැනි කටයුතු සිදුවන බැවින්, අදාළ උත්සව සහ අවස්ථාවන්ට සහභාගිවන්නන් අපහසුතාවයට පත්වේ.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව අද පශ්චාත් යුධමය රටක් බවට පත්ව ඇති අතර, ගැටුමේ මූලයන් ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමක් සෙවීමට තවමත් අසමත් වී ඇත. එසේම සාමාන්‍ය ජනතාව මත අපමණ දුෂ්කරතා පටවමින් ආර්ථිකය කඩාවැටී මන්දගාමී වෙමින් පවතින, පශ්චාත් අරගල සමාජයක් බවටද රට පත්ව තිබේ. වඩාත්ම නරක තත්වය නම්, ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩසලසන මැතිවරණ පැවැත්වීම රජය ප්‍රතික්ෂේප කරමින් සිටීමයි. මෙම තත්ත්වයන් තුළ, නොසන්සුන්තා ඇති විය හැකි ස්ථාන පිළිබඳව රජයට පූර්ව අනතුරු ඇඟවීම් ලබාගැනීම සහතික කිරීම සඳහා උතුර සහ නැගෙනහිර මෙන්ම, රටේ අනෙකුත් ප්‍රදේශද අඛණ්ඩ නිරීක්ෂණයට ලක්කර ඇත. වෙනස වන්නේ එම ක්‍රියාව උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල වඩාත් නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මකවීමයි. දකුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ඡන්දදායකයන් අමතමින් සිටියදී, තමන්ට අඩි 10-15ක් පමණ දුරින් සිට ඔවුන්ගේ සංවාදවලට සවන්දීමට, පොලිස් බුද්ධි අංශ නිලධාරීන් තම යතුරුපැදිවලින් පැමිණේ යැයි අපේක්ෂාකළ නොහැක.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීමත් සමඟ මතුවන දෙවැනි කාරණය වූයේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරයකු ලෙස ඔහුට දැක්වූ ගෞරවය අඩුකමයි. මෙම සිදුවීම් මගින්, උතුරේ සහ නැගෙනහිර ආරක්ෂක අංශ “ආක්‍රමණික හමුදාවක්” ලෙස ක්‍රියා කරන බව දෙමළ ජනතාවට තහවුරු කරයි. සිද්ධියෙන් අනතුරුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම්දී තිබිණි. අදාළ ස්ථානයේ ඇති වූ බහින්බස්‌වීමේදී තුවක්කුවක්‌ එළියට ගත් බවට ඔහු චෝදනා කළ නිසා, පොලිසියේ පරිසරය තමාට සතුරු වනු ඇතැයි සිතූ ඔහු පොලිසියට යෑමට අකමැති විය. පසුව පොලිසිය මන්ත්‍රීවරයාගේ කොළඹ නිවසට පැමිණ, ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාදීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට උතුරට රැගෙන ගොස් ඇත. ප‍්‍රකෝප කරනු ලැබූ අවස්ථාවලදී පවා, පසුගිය කාලයේ දී අනෙකුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මෙවැනි වෙනස්කමක් සහිත ද්‍රෝහී සැළකිල්ලක් පැවැතියේ නැත.

සමාන පුරවැසිභාවය

දෙමළ ඩයස්පෝරාවේ දැඩි මතධාරී කොටස් සමඟ සමීප සබඳතා පැවැත්වීම ඇතුළුව, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා පෙනීසිටි ප්‍රබල දෙමළ ජාතිකවාදී ස්ථාවරය විසින් ඔහු දකුණෙන් සහ සිංහල දේශපාලනයෙන් ඈත් කර තිබේ. ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ, “දකුණේ, සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් මෙම සිදුවීම ගැන අදහස් දැක්වූහ”යනුවෙනි. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් සිංහල භාෂාවෙන් කතාකළ ආකාරය, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට ඔහු දක්වන කැපවීම පෙන්නුම් කරන්නකි. මෙම තත්වය දිරිමත් කළ යුතු අතර, යටපත් නොකළ යුතුය. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ,”ප්‍රකාශයක් ලබාගැනීමට පොන්නම්බලම් මන්ත්‍රීවරයා අදම මරුතන්කර්නි වෙත යා යුතු බවට පොලිසිය අවධාරණය කිරීම හෝ ඔහුව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කිරීම සම්පුර්ණයෙන්ම නීති විරෝධී වන අතර, මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ වරප්‍රසාදය උල්ලංඝනය කිරීමකි. එය ඔහුට අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණීම වළක්වාලන මර්දනයකි” යනුවෙනි.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සුමන්තිරන් ප්‍රතිවාදී දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැක්වූ සහයෝගීතාව ධනාත්මක වර්ධනයකි. රජය සමඟ සිදුකරන සාකච්ඡාවලදී සාධාරණ කේවල් කිරීමේ බලයක් ලබාගැනීමට නම් දෙමළ දේශපාලන පක්ෂ අතර එකමුතුවක් අවශ්‍ය වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම්ට ඔහුගේ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් සාපේක්ෂ වශයෙන් අඩු සහයෝගයක් ලැබී ඇති බවට පළවූ දෙමළ ජනමාධ්‍ය වාර්තාවලට පටහැණිව, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ප්‍රතිචාර දැක්වීය. ඔහු පෙන්වාදුන්නේ,”පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ මතවාදයන් සහ ස්ථාවරයන් සමඟ අපට මතභේද පවතින නමුත් ඔහුට මේ සභාවේ සිටින අනෙකුත් මන්ත්‍රීවරුන්ට මෙන් සැළකුම් ලැබීමට අයිතියක් ඇත. ඔහු අද පාර්ලිමේන්තුවට පැමිණීමට යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය. එය නීතියට පටහැණිය. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නීතියට ගරුකරන ලෙසයි. මෙය නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමකි” යනුවෙනි. ශ්‍රී ලංකාව සියලු ජන කොටස්වල පොදු නිවහන බවට පත්කිරීමට අවශ්‍ය ජාතික සමගිය සහ සමාන පුරවැසිභාවය පිළිබඳ හැඟීම විපක්ෂ නායකවරයා එහිදී ප්‍රදර්ශනය කළේය.

පාර්ලිමේන්තුවේ ප්‍රතිවිරුද්ධ පැතිවල සිටියද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක ප්‍රේමදාස ජාතික කටයුතුවල සුක්කානම හොබවන වත්මන් කාලය, අතීත ගැටලු මෙන්ම පවතින ගැටලු නිවැරැදි කරගැනීමට හොඳම අවස්ථාව උදාකර දී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන සතියේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිතව තිබියදී, ජනාධිපති වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා, එහිදී ප්‍රතිසන්ධාන ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කළේය. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටළු, සිරකරුවන් නිදහස් කිරීම සහ බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් තුළ මුල පිරීම්වල ප්‍රගතිය ද සමාලෝචනය කර ඇත. වචනයෙන් බොහෝ දේ පැවසුවද මෙතෙක් භුමියේ සිදුවී ඇත්තේ ඉන් අල්පයකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඊට එක් සාක්ෂියක් වේ.

  • ආචාර්ය ජෙහාන් පෙරේරා (ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ)