June 2, 2026

මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක් අසලදී පුද්ගලයන් හයදෙනකුට මරු කැඳවමින් සහ තිදෙනකුට බරපතළ තුවාල සිදුකරමින් සිදුවූ දරුණු කැබ් රථ අනතුර සම්බන්ධයෙන්, සැකකරුවන්ට එරෙහිව ‘මිනීමැරුම් චෝදනා’ යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයාට නීතිමය හැකියාව පවතින බව ප්‍රකට නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසයි.

පොලිසිය මඟින් සිදුකරන මූලික විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් අනතුරුව නීතිපතිවරයාට මෙම පියවර ගතහැකි බව හෙතෙම පෙන්වාදෙයි.

අතීතයේ සිදුවූ ප්‍රකට යාන්ගල්මෝදර දුම්රිය-බස් අනතුරට වඩා මෙම සිදුවීමේ ඇති බරපතළකම පැහැදිලි කරමින් මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා නොසැලකිලිමත් ලෙස වාහනය ධාවනය කර ඇති බවයි.

“සිදුවන විනාශය ළඟදීම දැක දැකත්, වාහනය නොසැලකිලිමත් ලෙස හැසිරවීම තුළින් පෙනීයන්නේ මෙම මරණ ‘චේතනාන්විතව’ සිදුකර ඇති බවක්. ඒ නිසාම මෙය යාන්ගල්මෝදර ඛේදවාචකයටත් වඩා දරුණු තත්ත්වයක් ලෙසයි මා දකින්නේ.”

මෙවැනි සාපරාධී නොසැලකිලිමත්කම් වැළැක්වීම සඳහා වත්මන් සමාජ යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් කඩිනම් නීති සංශෝධනයක් ගෙනඒමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී නීතිමය තීන්දුවක් සිහිපත් කළ මහාචාර්ය මහානාම හේවා , 2005 වසරේදී සිදුවූ යාන්ගල්මෝදර අනතුර සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසු 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය මඟින් අදාළ බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට මරණීය දණ්ඩනය නියම කළ බව පෙන්වාදුන්නේය.

ඒ අනුව, මීගොඩ අනතුර සම්බන්ධයෙන්ද එවැනිම දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම මෙරට අපරාධ නීතිය තුළ පවතින බව ඔහුගේ අදහසයි.