May 29, 2026

සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමට අයත් දිනපතා සහ ඉරිදා ‘මව්බිම’ පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවයේ නියුතුව සිටි රවිෂාන් ප්‍රනාන්දු සම්බන්ධ ගැටලුවට වහාම මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකළ ලිපියක දැක්වෙන්නේ, ‘මව්බිම’ පුවත්පත් ආයතනයේ පාලනාධිකාරිය විසින් මාස කිහිපයක සිට සේවක වැටුප් නොගෙවීම සහ දිනපතා ‘මව්බිම’ පුවත්පත වසාදැමීමට තීරණය කිරීමට එරෙහිව ජනමාධ්‍යව්දී රවිෂාන් ප්‍රනාන්දු කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ බවයි.

මේ හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස ආයතනයේ මානව සම්පත් කළමනාකාරිනිය සහ පරිපාලන නිලධාරියකු විසින්ඔහුට තම සේවාස්ථානය වන ‘මව්බිම’ ආයතනය තුළට ඇතුළුවීම වළක්වා ඇති බවට සංගමය චෝදනා කරයි.

මේ අනුව 2026 මැයි මස 12 වැනි දින සිට මේ දක්වාම ආරක්ෂක අංශ යොදවා රවිෂාන් ප්‍රනාන්දු හට සේවා ස්ථානයට ඇතුළු වීමේ අයිතිය ‘මව්බිම’ පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස අහුරා ඇති බව සංගමය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සිදුකළ පැමිණිලි විභාගයේදී හිඟ වැටුප් ගෙවීමට පාලනාධිකාරිය එකඟත්වය පළකළද, අප්‍රේල් මාසයේ වැටුප පවා මෙතෙක් ගෙවා නොමැති අතර සේවා ස්ථානයට ඇතුළුවීමේ තහනම ද මේ වනතෙක් ඉවත් කර නැති බව සංගමය පෙන්වාදෙයි.

එම සංගමය පවසන්නේ, ජනමාධ්‍යවේදියකුට තමන්ගේ වෘත්තියෙහි රාජකාරී කිරීමට ඇති අයිතිය කිසිදු නීත්‍යනුකූල පදනමකින් තොරව මෙලෙස බලහත්කාරයෙන් වැළැක්වීම, ශ්‍රී ලංකාවේ පවත්නා කම්කරු නීතිය, සේවක හා මානව අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි .

එබැවින්, රවිෂාන් ප්‍රනාන්දුට වහාම තම සේවා ස්ථානයට ඇතුළුවීමටත්, බාධාවකින් තොරව තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමටත් අවශ්‍ය නියෝග වෘත්තීය වගකීම් පැහැරහරිමින් සිටින සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගම වෙත වහාම නිකුත් කරන ලෙස සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.