March 16, 2024

මිනිස් ජීවිත බිලිගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාල කණ්ඩායම් විනාශ කර දැමීම සඳහා පොලිස්පතිවරයාගේ හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගේ සෘජු අධීක්‍ෂණය යටතේ බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සඳුදා (18දා) සිට ආරම්භ කෙරේ.

මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් විනාශ කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සන්නද්ධ ප්‍රහාරක පොලිස් බළඇණි 20 ක් එම ප්‍රදේශවලට පිටත් කර යැවීමට නියමිතය.

මෙම ප්‍රහාරක බළඇණි පොලිස්පතිවරයාගේ හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගේ නියෝගවලට පමණක් ක්‍රියාත්මක වන අතර, හඳුනාගත් පාතාල කල්ලි හා පාතාල සාමාජිකයන් විනාශකර දැමීමට පූර්ණකාලීනව කටයුතු කරනු ලබයි. පාතාල අපරාධ සීඝ්‍ර ලෙස ඉහළ යෑමට හේතුවී ඇත්තේ එම අපරාධ සිදුවූ ප්‍රදේශවල ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලිවලට බියක් දැක්වීම හා තවත් පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වාගෙන යෑම නිසාත් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව පාතාලය මර්දනය කිරීමට අපොහොසත්වූ ප්‍රදේශ 62ක ස්ථානාධිපතිවරුන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත්කර තිබේ.

එම නිලධාරීන් 62දෙනා කොළඹට කැඳවාගෙන ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමට පොලිස්පති කටයුතු කර ඇති අතර මින් ඉදිරියට එම ප්‍රදේශ වල පාතාල අපරාධ සිදු වූවොත් එම ස්ථානාධිපතිවරුන් ධුර වලින් ඉවත්කර සාමාන්‍ය රාජකාරීවලට අනුයුක්ත කරන බව අවවාද කර ඇත.

පාතාල අපරාධ සීඝ්‍රයෙන් වර්ධනය වන දකුණු පළාතේ නිලධාරීන් රැසක් මාරුකර දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පොලිස් මූලස්ථානයට කැඳවා ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහෙෂ් සේනාරත්න ඊට අනුයුක්ත කර ඇත.

ඊට අමතරව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හා ස්ථානාධිපතිවරුන් 10 දෙනකු පමණ ඉදිරි දිනවලදී දකුණු පළාතෙන් ඉවත් කිරීමට පොලිස්පති ක්‍රියාකරමින් සිටී.(දිවයින)