May 31, 2026

මුහුදු පත්ලේ සිට ආරම්භ වී ‘වට්ස්ඇප්’ (WhatsApp) විකුණුම් සමූහ දක්වා ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවනු ලැබූ මහාපරිමාණ නීතිවිරෝධී කොරල්පර සහ මුහුදු ජීවීන්ගේ ජාවාරමක් පසුගිය බ්‍රහස්පතින්දා වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව කළ වැටළීමකදී අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ.

කැලණිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සිදුකළ මෙම වැටළීම්වලදී වයස අවුරුදු 36 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ආරක්ෂිත සජීවී කොරල්පර සහ දුර්ලභ මුහුදු මත්ස්‍යයන් විශාල තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, මේවා මිලදී ගන්නන් වෙත රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 2 දක්වා වූ අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට සැකකෙරේ.

විමර්ශකයන් පවසන පරිදි, සැකකරුවන් විසින් මුහුදු පත්ලෙන් වටිනා කොරල් විශේෂ සහ ආරක්ෂිත මුහුදු මත්ස්‍යයන් ගලවා ඉවත් කිරීම සඳහා කිමිදුම්කරුවන් යොදවා තිබේ.

එසේ ලබාගන්නා ජීවීන් පසුව ප්‍රවාහනය කර, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර ඇත.

මෙලෙස සොයාගත් ජීවීන් අතර රතු බිම්මල් කොරල් (Red Mushroom Corals), ගොර්ගෝනියන් කොරල් (Gorgonian Corals), මුව අං කොරල් (Deer Antler Corals) මෙන්ම මුහුදු අශ්වයන් (Seahorses) සහ ක්ලවුන්ෆිෂ් (ClownFish) වැනි දුර්ලභ මත්ස්‍යයන් ද වන බව පැවැසේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම ඒකාබද්ධ වැටළීම දියත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.