June 21, 2026

මහරගම ජාතික පිළිකා ආයතනයේ (අපේක්ෂා රෝහල) නේවාසික පිළිකා රෝගීන් වෙනුවෙන් සතියේ දින හත පුරාම පැවැත්වුණු මහාපරිමාණ තැඹිලි වතුර ලබා දීමේ දානමය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල ලේඛනයකට අනුව මෙම තීරණය 2026 ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇත.

රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ, රෝහල් භූමියේ රසායනාගාරවලට ආසන්නතම ස්ථානයක, විධිමත් අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සෑම පෙරවරුවකම මෙම තැඹිලි දානය සිදුකෙරුණු බවයි.

එහිදී දිනකට තැඹිලි ගෙඩි 1000 ත් 1500 ත් අතර සංඛ්‍යාවක් පරිත්‍යාගශීලීන් විසින් රැගෙනවිත් තිබේ.

කෙසේවෙතත්, විශේෂඥ වෛද්‍යවරුන්, සියලුම අංශ ප්‍රධානීන් සහ රෝහල් කමිටුව සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත්තේ පහත සඳහන් සෞඛ්‍ය හා ආරක්ෂිත ගැටලු සැලකිල්ලට ගනිමිනි:

– සෞඛ්‍යාරක්ෂිත බවින් තොර වීම: කිසිදු ප්‍රමිතියකින් තොරව, අපිරිසිදු ලෙස තැඹිලි වතුර ලබාදීම මඟින් ප්‍රතිශක්තිකරණය හීන වූ පිළිකා රෝගීන්ට ආසාදනයන් ඇති වීමේ දැඩි අවදානමක් පැවතීම.

– රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වීම: වාට්ටු තුළට බාහිර පුද්ගලයන් මුඛ ආවරණ හෝ අත් වැසුම් පැළඳීමකින් තොරව ඇතුළුවීම, රෝගීන් ඡායාරූපකරණය හා වීඩියෝගත කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම මඟින් රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුවීම.

– නීතිමය හා ආරක්ෂිත ගැටලු: මෙම ක්‍රියාවලිය 1980 අංක 26 දරණ ආහාර පනතට සහ 2011 ආහාර ස්වස්ථතා නියෝගවලට අනුකූල නොවීම මෙන්ම, යම් යම් නීතිවිරෝධී කටයුතුවල නිරතවන පුද්ගල කණ්ඩායම් ද මීට සම්බන්ධ වී ඇති බවට වාර්තා වීම.

මෙම තත්ත්වය මත, රෝහලට දිනකට සැබෑ ලෙසම අවශ්‍ය කරන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100-200 දක්වා ඇස්තමේන්තු කර සීමාකර ඇත.

ඉදිරියේදී පරිත්‍යාගශීලීන්ට එම තැඹිලි සංඛ්‍යාව රෝහලේ ආහාර ඇණවුම් නිලධාරී හරහා ප්‍රධාන මුළුතැන්ගෙයට ලබාදීමට පමණක් අවසර හිමි වන බව ද රෝහල් පාලනාධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි.