March 29, 2024

වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වවුනියාවේදී අද (29) ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවසීය.

උද්ධමනය අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම, සහනදායී ලෙස පඩි වැඩි කිරීම ඡන්දයක් එන විට සිදුකළ හැකි යැයි සිතන මෝඩ, උද්දච්ච කුහකයින් පිරිසක් රජය විවේචනය කරමින් සිටින බවත් වත්මන් ආර්ථික සංඛ්‍යාලේඛන වලින් ජනාධිපතිතුමා සමග කළ මෙහෙයුම සාර්ථක වී ඇතිබව පෙනී යන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

වවුනියාවේ ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද සහ හෙට (30) දෙදින තුළ පැවැත්වෙන වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසීම, ශ්‍රී ලංකාවේ විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම යනාදී කටයුතු ගණනාවක් සිදු කෙරෙයි.

“මුලින්ම මට දෙමළ භාෂාවෙන් කතා කරන්නට බැරි වීම ගැන දෙමළ ජනතාවගෙනුත් වැඩසටහනේ ඉදිරිපත් කිරීම් බහුතරයක් දෙමළ භාෂාවෙන් වීම නොතේරෙන සියයට 20ක් පමණ සිංහල ජනතාවගෙනුත් මම සමාව ඉල්ලනවා. මේක කයිවාරුකාරයෝ රැල්ලට පිටරටවලට ගිහිල්ලා හැටදාහක් මැරුණ එකටසමාවෙන්න කිව්වා වගේ නෙමෙයි, මම යාපනයට ගියාමත් මේ ගැන සමාව ඉල්ලුවා. ඉතිහාසයේ දේශපාලනඥයෝ කරපු වැරැද්දට මම එදත් විරෝධතාවය දැක්වූවා.

අපිට යාපනය කිව්වම උතුරු පළාත මතක් වෙනවා. හැබැයි වවුනියාව කිව්වම එහෙම දුරස්කමක් දැනෙන්නේ නෑ. අපිව දුරස් කරලා තිබ්බා. අපිව දුරස් කෙරෙව්වා. උතුර සහ නැගෙනහිර අපේ රටේ නෙවෙයි, රටින් වෙන් කළා කියලා කතාවක් දේශපාලනඥයෝ හදලා තිබුණා. හැබැයි වව්නියාව කියනකොට උතුරත්, නැගෙනහිරත් යා කරන තැනක්. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා සහයෝගෙන් ජීවත් වන පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස වව්නියාව හැඳින්විය හැකියි.

එදා මම කිව්වා යාපනයේ ජනතාවගෙන් අපට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. දකුණේ ජනතාව පහුගිය දවස්වල තෙල්, ගෑස්, ලයිට්, බෙහෙත්, කිරිපිටි නැතිව හිටියා. පෝලිම් දුටුවා. පසුව දකුණේ දැවැන්ත අරගලයක් දක්වා මාස කීපෙක මේ ගැටලු දුරදිග ගියා. හැබැයි උතුරේ ජනතාව දෙපැත්තේම අයගේ වැරදිවලින් ආරම්භ වුණ තත්ත්වය නිසා අවුරුදු 30ක් තෙල් නැතුව, ගෑස්, බෙහෙත්, කන්න නැතුව අමාරුවෙන් ජීවිතේ ගැටහගෙන ඉඳලා ලොකු ආදර්ශයක් සහ ඉගෙනගන්න දේවල් ඉතිරි කළා කියලා මම එදා කිව්වා.

අද රට භාරගන්න කයිවාරුකාරයෝ ගොඩාක් ඇවිල්ලා. ඒ තිබුණ රට ආර්ථික වශයෙන් ගොඩගන්න බෑ කියලා ආර්ථික ඔස්තාර්ලා කියද්දි දැන් අලුත් මහතීර් මොහොමඩ්ලා අලුත් ලී ක්වාන් යූලා අලුතින් රට ගොඩගන්න පුළුවන් වීරයෝ, බොරු කයිවාරුකාරයෝ බිහි වෙලා. සියලු දෙනා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා කියද්දි මේ රටේ ආර්ථිකය හදලා අද මේ තත්ත්වයට රට ගෙනත් තියන්න ඉස්සරහට ආවේ රනිල් වික්‍රමසිංහ කියන ඒ නායකයා විතරයි.

දැන් ඔය ගොඩක් කතා කියන අය මේ රට ගොඩගන්නම බැරි වෙන්න වැටිලා ඉවරයි කිව්වා. මේ රට ආයේ ගොඩගන්න හම්බ වෙන්නේ නෑ කිව්වා. බිම් මට්ටමේ ඉඳලා තෙල් නැව් ගේන්න ඩොලර් මිලියන 20ක් හොයාගන්න බැරුව තිබිච්ච රටක් මෙය. හැබැයි ජනාධිපතිතුමාගේ මගපෙන්වීම, හමුදාව, පොලීසියේ ඉඳලා රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම හින්දා එක මිටට වෙහෙස මහන්සි වෙලා මේ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒ කාලේ මිනිස්සු බව්සරයක් ආවම ඒකට ගිහිල්ලා වැන්දා. තෙල් නැව් ආවම බ්‍රේකින් නිව්ස් එකක් වුණා. එහෙම රට අද වෙනකොට යථා තත්ත්වයට ඇවිත් තියෙනවා. 2022 ජූලි මාසයේ අපේ රන් ඇතුළු සංචිත තිබුණේ ඩොලර් මිලියන 1815යි. මේ වසරේ පෙබරවාරි වෙනකොට එය ඩොලර් මිලියන 4491ක් වෙලා. මේ මාර්තු වෙනකොට එය මිලියන පහකට ආසන්න වෙමින් තිබෙනවා. සමහරු කියනවා මෙහෙම තියෙන්නේ අපි මේ ණය නොගෙවන නිසා කියලා. අයි එස්බී, සවරින් බොන්ඩ්ස් හැර අනෙත් ණය අපි ගෙවනවා. ඒ ගමන් රටේ තහනම් කරලා තිබුණ පෞද්ගලික වාහන හැර සියලු ආනයනවලට ඉඩ විවෘත කරලා, ඩොලර් එළියට යන්න ඉඩ දීලයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. විගමණික ශ්‍රමිකයන්ට විතරක් පෞදගලික වාහන ගෙන්නන්නත් දීලා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කර්මාන්ත ක්ෂේත්‍රවලටත් දැන් වාහන ගෙන්නන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා. ණය යම් ප්‍රමාණයකට ගෙවමින් තමයි මේ සංචිත වැඩි කරගෙන තියෙන්නේ. ඩොලර් නැව් ගේන්න සමහරු පාරේ බලාගෙන හිටි කාලෙකුත් තිබුණා. 2022 අවුරුද්දේ හතර වැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සෘණ අගයක තිබුණේ. සෘණ 12.4ක්. නමුත්, ගිය අවුරුද්දේ හතර වැනි මාසය වන විට ධන 4.2ක් දක්වා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්න පුළුවන් වුණා.

අපේ රටේ මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තු කළ ආයතන 52ක් රුපියල් ‘මිලියන ලක්ෂවලින්’ මිලියන හත් ලක්ෂ 44,658ක්, බිලියනවලින් කිව්වොත් බිලියන 74කට වැඩි මුදලක් පාඩු ලැබුවා. බදු ගෙවන මිනිස්සු තමයි ඒ පාඩුව ගෙව්වේ. අද ඒ ආයතන රුපියල් මිලියන 144,224ක් ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. උද්ධමනය කියන්නේ මොකක්ද? බඩු මිල වැඩි වීමේ වේගය. අපි අභියෝගය භාරගන්නකොට බඩු මිල වැඩි වීමේ වේගය තිබුණේ සියයට 80ටත් වේගයෙන් ඉහළ යමින්. ඒ විදිහට ගියා නම් මේ මාසේ රුපියල් 100ට ගත්ත පාන් ගෙඩිය රුපියල් 200ට ගන්න වෙන්නේ. ඒ තරම් වේගයෙන් රටේ බඩු මිල ඉහළ යෑමේ වේගය ඉහළ ගිහින් තිබුණා. අපි ආණ්ඩුව භාරගන්නකොට ඩොලර් එක රුපියල් 380යි. ‘බ්ලැක් මාකට්’ එකේ 400යි. 420ටත් ගියා. සමහරු කිව්වා 700ට 800ට ඩොලර් එක යනවා, මේ වැටෙන වැටිල්ලට අපිට පාන් ගෙඩිය ගන්න වෙන්නේ විල්බැරැක්කෙන් සල්ලි ගෙනිහින් කියලා. මේ රට ආයේ ගොඩගන්න වෙන්නේ නෑ කියලා කිව්වා. ඒත් අද වෙනකොට ඩොලර් එක 290ට අඩු වෙලා තියෙනවා.
2022 මැයි මාසේ ප්‍රේෂණ මසකට රුපියල් 200ට පවා වැටිලා තිබුණා. වැඩියෙන් එව්වේ උණ්ඩියල්. 2023 මුල් මාස දෙකේ විතරක් ඩොලර් මිලියන 45කට විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ මුල් මාස දෙකට විතරක් ඩොලර් මිලියන 964ක් එවලා තියෙනවා. සියල්ල ඩොලර් බිලියන 10ක් මේ මාර්තු වෙනකොට විදේශගත ශ්‍රමිකයෝ එවලා තියෙනවා.

අපේ රටට ඩොලර් එවන්න එපා, මේ රට වට්ටන්න කියලා කියද්දී මේ දරුවන්ගේ අම්මලා – තාත්තලා පිටරට ඉඳලා රටට ඩොලර් එව්වා. මේ රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල අපේ ඩයස්පෝරාව, දෙමළ මුස්ලිම් ඩයස්පෝරාව අනෙක් පළාත්වලින් ගිහින් ඉන්න සිංහල ඩයස්පෝරාව ශ්‍රමිකයින් විදිහට ගිහින් ඉන්න අය සේරම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අපි වෙනුවෙන් ඩොලර් ටික රටට හරි පාරෙන් එව්වා. කයියනායකලා එවන්න එපා කියලා කියද්දී සමහර ඇමතිවරුත් උන්ඩියල් කමක් නෑ කියද්දී හරි පාරෙන් ලංකාව්ට සල්ලි එවපු නිසා අද රට ගොඩ ගියා. ඒකට අනේක වාරයක් ඔබ සියලු දෙනාට විදේශගත ශ්‍රමික පවුල් සහ දරුවන්ට නැවත වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා.

ලංකාවට එවන වැඩිම ඩොලර් ප්‍රමාණය එවලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයෝ. අංක එක ඔවුනුයි. අංක දෙකට ඩොලර් ආවේ සංචාරක ව්‍යාපාරයෙන්. එක සුද්දෙක්වත් එන්නැතුව හිටපු රට අපිට 2022 ගෙන්නගන්න පුළුවන් වුණා 2022 අවුරුද්දේ ආවේ 178,000ක්. 2023 මුල් මාස දෙකේදී සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණේ ඩොලර් මිලියන 332ක්. ඒක මේ අවුරුද්දේ මුල් මාස දෙකේදී ඩොලර් මිලියන 688ක්. තුන්වැනි මාසෙ වෙනකොට ඒක ඊටත් වඩා ඉහළ ගිහින්. සංචාරකයෝ ලක්ෂ පහකටත් වැඩි ප්‍රමාණයක් අද වෙනකොට ලංකාවට ඇවිත් තියෙනවා. පළවෙනි මාස තුනට විතරක් ලක්ෂ 6 සීමාවට කිට්ටු කරලා තියෙනවා.

අපේ එජාප දිස්ත්‍රික් සංවිධායක මයුරන් කිව්වා අපි ‘සුයිසයිඩ් මිෂන් එකකට’ ගිහින් මේ ඇවිත් තියෙන්නේ කියලා. මේ සංඛ්‍යා ලේඛන බොහොම ආඩමබරෙන් කියන්නේ එදා රනිල් වික්‍රමසිංහ සමග හරීන් ප්‍රනාන්දුයි, මනූෂ නානායක්කාරයි සුයිසයිඩ් මිෂන් එකකට ගිහින් කළ මෙහෙයුම සාර්ථකයි කියලා.

අපි රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ රුපියල් දහදාහක වැටුප අප්‍රේල් ඉඳන් හම්බවෙනවා. ඊළඟ මාසේ ඉතුරු අඩුපාඩු පියවුණාම රුපියල් පහළොස්දාහ වෙනවා. ජනවාරි, පෙබරවාරි හිඟ වැටුපත් හම්බ වෙනවා. ඒ හිඟ මුදල් අවුරුද්දෙන් පස්සේ අවුරුද්ද සමරන්න හම්බ වෙනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කරලා තිබුණේ නෑ කාලෙක ඉඳලා. අවම වැටුපට රුපියල් 12,500 ඉදලා රුපියල් 17,500ට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී වැඩි කරන්න මට අනුමැතිය දුන්නා. එතකොට ඒ 17,500ට ඉතුරු 3500 දීමනා එකතු වෙලා 21000කට ඊපීඑෆ්, ඊටීඑෆ් ගණන් හදන්න වෙනවා. එතකොට හැම කෙනෙකුටම 21000 ඉඳලා මේවා හදන්න ඕනි. අද ඉඳලා 12000ට, 15000ට ඊපීඑෆ් ඊටීඑෆ් හදන්න බෑ. දවසෙ වැටුපත් රුපියල් 700ට වඩා වැඩි කරලා තියෙනවා. වතු කම්කරුවගෙ වැටුපත් 1000 තියෙන්නේ අවුරුදු 03ක ඉඳලා. 2020 තමයි අන්තිමට වැඩි කළේ හැම අවුරුදු 02කට සැරයක් වැඩි කරන්න ඕන. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඒකත් වැඩි කරන්න කියලා. ඒ අනුව සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා අපි වතු කම්කරුවන්ගෙත් වැටුප වැඩි කරනවා.

දැන් උද්ධමනය සියයට 05ට විතර අඩු කරලා තියෙන්නේ. අවුරුදු එකහමාරක් මහන්සි වෙලා අපි ඒ සියල්ල කරනකොට, සංචිත වැඩි කරනකොට ඡන්දෙ එන බව කියනවා අපි දකිනවා. එහෙම කියන අයට අපි කියනවා – ඡන්දයක් එනකොට උද්ධමනය අඩු කරන්න පුළුවන් නම්, ඩොලරයේ අගය අඩු කරන්න පුළුවන් නම්, සහනදායී විදිහට පඩි වැඩි කරන්න පුළුවන් නම් අපි හැමදාමත් ඡන්දෙ තියමු. එතකොට ජනතාවට සහන දෙන්න පුළුවන් වෙයි. ඒකවත් තේරුම්ගන්න බැරි මෝඩයෝ, උද්දච්චයෝ, කුහකයෝ ටිකක් තමයි මේ. ඒ අයට අරකට ජයවේවා, මේකට ජයවේවා කියලා, කමෙන්ට් කරන්න කියලත් කියන්නේ.”