April 29, 2026

කෑගල්ල ප්‍රදේශයේ හෝටල් දෙකක ප්‍රදර්ශනය කර තිබූ මුව අං සොයා ගැනීමෙන් පසු වනජීවී නිලධාරීන් විසින් එම හෝටල්වල කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, අං සහිත මුවන්ගේ හිස් කබල් ප්‍රදර්ශනය කරන බවට ලැබුණු තොරතුරක් මත අප්‍රේල් 25 වැනිදා බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශයේ හෝටලයක් වටලා ඇත.

ඒ අනුව එහි කළමනාකරු එවැනි හිස් කබල් දෙදෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

දෙබත්ගම, අලපලාවල ප්‍රදේශයේ හෝටලයක දෙවැනි වැටලීම සිදු කළ බවත්, එහිදී තවත් හිස් කබලක් අත්අඩංගුවට ගෙන එම හෝටලයේ කළමනාකරු ද අත්අඩංගුවට ගත් බවත් දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.

සැකකරුවන් මැයි 5 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සහ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බලධාරීන් තහවුරු කර තිබේ.

ආරක්ෂිත සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.