June 5, 2026

අම්බලන්තොට, මාමඩල, මොකුටුයාය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයකුට වෙඩි තබා, කපා කොටා ඝාතනය කර, ඔහුගේ හිස කඳින් වෙන්කර පිළිමයක එල්ලා තැබීමේ අමානුෂික සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් තිදෙනා, මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය විසින් අද (04) පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගෙන තිබේ.

හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනිය ඉදිරියේ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වනු ලැබීය.

අම්බලන්තොට පොලිසිය සඳහන් කළේ, අපරාධය සිදුකිරීම සඳහා එදින නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනාම, සාක්ෂිකාරියන් වූ ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ සහ දියණිය විසින් නිවැරදිව හඳුනාගත් බවයි.

ඉකුත් මැයි මස 12 වැනිදා තංගල්ල විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිසියට භාර දී තිබිණි.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට අම්බලන්තොට පොලිසිය විසින් පසුව තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුව ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

හඳුනාගැනීමේ පෙරට්ටුව අවසන් වීමෙන් අනතුරුව, සිද්ධියට සෘජුව සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා සහ ඊට ආධාර අනුබල දුන් 4වැනි සැකකරු ඇතුළු හතරදෙනාම එළඹෙන ජුනි මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.