July 30, 2026

ජාතික ජන බලවේගය ගත් තීරණයකට පටහැනිව කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බැවින් තමාට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂයට හැකියාවක් නොමැති බව එම බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පවසයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිදු කමිටුවකදී සාකච්ඡා කර හෝ තීරණයක් ගෙන නොමැති බව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා මෙම කරුණ සම්බන්ධයෙන් තමාට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂයට නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

“මෙය රජයට එරෙහි සටනක් නෙමෙයි, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා වන අරගලයක්. අධිකරණයේ ස්වාධීනත්වයක් නැති පරිසරයක කිසිදු නීතිඥවරයකුට තමන්ගේ වෘත්තියේ යෙදෙන්න බෑ. යම් නඩුවක තීන්දුව කුමක්දැයි කලින්ම දන්නවා නම් නීතිඥවරයකුට කටයුතු කරන්න බැහැ,” යනුවෙන්ද විජේනායක වැඩිදුරටත් පැවසීය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ නිහඬව සිටින ලෙස ජාතික ජන බලවේගයේ නායකත්වය තමාගෙන් ඉල්ලා සිටි බවද ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ඊයේ පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමටද ලාල් විජේනායක සහභාගී වී සිටියේය.