July 24, 2026

ශ්‍රී ලංකාව තුළ පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය තුළ මදුරුවන් මර්දනය සඳහා ටෙක්නිකල් මැලතියන් (Technical malathion) ප්‍රදානය කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීමක් මත මෙම රසායනිකය නොමිලේ ලබා දීමට ඉන්දීයාව තීරණය කර ඇත.

එම රසායනික තොගය හෙට(24) කොළඹ වරායට ළඟාවීමට නියමිතව තිබේ.

ටෙක්නිකල් මැලතියන් මදුරුවන් විනාශ කිරීමේ ප්‍රධාන රසායනික උපක්‍රමයක් ලෙස දීර්ඝ කාලයක සිට භාවිත කෙරේ.

මදුරු මර්දනයේදී මෙය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ ධූමායනය හරහාය.

සෞඛ්‍ය අංශ විසින් මැලතියන් රසායනිකය විශේෂ ද්‍රාවක හෝ ඩීසල් සමඟ මිශ්‍රකර, ධූමායන යන්ත්‍ර මගින් ඉතා සියුම් මීදුමක් හෝ දුමක් ලෙස වාතයට මුදාහරිනු ලබයි.

2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින් පුරා ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙයි.

මෙම කාලය තුළ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 57කි.