March 14, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් වධානයක් දිනාගත් ජපන් සත්වෝද්‍යානයක සිටින පන්ච් නම් වඳුරු පැටවාට හිරිහැරයක් වී නොමැති බව එම සත්වෝද්‍යානය අවධාරණය කර තිබේ.

ටෝකියෝ සමීපයේ ඉචිකාවා නගර සත්වෝද්‍යානයේ සිටින මව විසින් අතහැර දැමූ මාස හතක් වයසැති වඳුරු පැටවකු වූ පන්ච් ඔරංඔටන් සෙල්ලම් බඩුවක් සමග තනිව සිටිනු දැකීමෙන් පසු ගෝලීය අවධානය දිනා ගත්තේය.

වෙනත් වඳුරන් විසින් පන්ච් එළවා දමනු ලබන ආකාරය පළමුව වීඩියෝවල දක්නට ලැබුණු අතර අවසානයේ වඳුරු කණ්ඩායමක් විසින් ඔහුව රැගෙන ගොස් රැකබලා ගන්නා ලදී.

පසුව සත්වෝද්‍යානය පැවසුවේ පන්ච්ට වෙනත් වඳුරන් බොහෝ වාරයක් බැණ වැදී ඇති නමුත් කිසිවකු ඔහු කෙරෙහි බරපතළ ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කර නොමැති බවයි.

කෙසේවෙතත්, වඳුරු කණ්ඩායමක් විසින් ඔහුව ලුහුබඳින ආකාරය පෙන්වන තවත් වීඩියෝ අන්තර්ජාලය හරහා සංසරණය වූ අතර, එය පන්ච්ට අඛණ්ඩ හිරිහැර වීම පිළිබඳ කණස්සල්ලක් ඇති කළේය.

සත්වෝද්‍යානය පැවසුවේ පළමුව, ජපන් මැකේක් සතුන් දැඩි ධුරාවලි සමාජයක් අනුගමනය කරන අතර ආධිපත්‍යය දරන සතුන් ඔවුන්ගේ යටත් සතුන් කෙරෙහි ‘විනයානුකූල ක්‍රියා’ පෙන්වන බවයි.

මෙම හැසිරීම් මිනිසා විසින් හඳුන්වන ‘අපයෝජන’වලින් වෙනස් බව සත්වෝද්‍යානය කියයි.

වඳුරන් පිළිබඳ අධ්‍යනය කරන ජපන් විද්‍යාඥයෝ 1948 සිට ජපානයේ ස්වදේශික වඳුරන්ගේ හැසිරීම, සමාජය සහ පරිසර විද්‍යාව අධ්‍යයනය කරමින් සිටිති.

පවතින තොරතුරු අනුව පෙනී යන්නේ මෙම ‘විනය’ සැකසීම ජපන් වඳුරු කණ්ඩායම් තුළ ස්වභාවිකවම සිදුවන අතර එය පන්ච්ගේ කණ්ඩායමට පමණක් සීමා වන්නක් නොවන බව යැයි සත්වෝද්‍යානය පවසයි.

පන්ච් දවසේ වැඩි කාලයක් ‘සාමකාමීව’ ගත කළ බවත් ඔහුට එරෙහිව ‘විනයානුකූල ක්‍රියා’ නොනවත්වා සිදු නොවූ බවත් සත්වෝද්‍යානය වැඩිදුරටත් පැවසීය.

පන්ච් රැකබලා ගන්නා හෝ ඔහු සමග සෙල්ලම් කරන වඳුරන් සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතින නිසා, පන්ච් ඔහුගේ සෙල්ලම් බඩුවෙන් ඈත්ව ගත කරන කාලය වැඩි වී ඇති බව ද සත්වෝද්‍යානය කියයි.

සත්ව අයිතිවාසිකම් කණ්ඩායම වන PETA මීට පෙර පන්ච්ට සළකන ආකාරය විවේචනය කළ අතර, එය ‘සත්වෝද්‍යානවල කෲරත්වයට’ සාක්ෂියක් බවට තර්ක කළේය.