July 4, 2023

කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසෙහි උත්සවයක් සංවිධාන කර ඇති අතර, එම උත්සවය ඔවුන්ගේ විවාහ සංවත්සරය නිමිතිකොට ගෙන පවත්වා ඇතැයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුව නිසා කලකට පසු රාජපක්ෂ පවුලේ සියලු දෙනාට ඊට ආරාධනා කිරීමට මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් කටයුතු කොට ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසු සිදුවූ ඇතැම් සිදුවීම් මුල්කරගෙන රාජපක්ෂ පවුල ඇතුළේ යම් යම් බෙදීම්, හිත් නොහොඳකම් මතුව තිබූ බවත්, විශේෂයෙන්ම ගෝඨාභය ජනාධිපතිධූරය අතහැර පළායෑමෙන් පසු ඇතිවූ සිදුවීම් මුල්කරගෙන මේ තත්ත්වය තව තවත් ඔඩුදුවා තිබූ බවත්, වාර්තා වේ.

එය කෙතරම් උග්‍ර අතට පත්වුවද කිවහොත් කිසිදු අවස්ථාවක රාජපක්ෂ පවුලේ සියලුදෙනා එකට එක්වූ අවස්ථාවක් වාර්තා නොවන තරමට අර්බුදය උග්‍ර වී තිබුණු අතර, ඇතැම් උත්සවවලට ගෝඨාභයට ආරාධනා නොකළ අවස්ථාද වාර්තා විය.

පසුගිය කාලයේදී විදෙස්ගතව සිටින රාජපක්ෂ පවුලේ නැගණියක ලංකාවට පැමිණීමෙන් පසු සාදයක් සංවිධාන වුවද, ඒ අවස්ථාවට මහින්ද හැර අන් අය සහභාගි වී සිටිනු දැකගත හැකි වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ හැරුණු විට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් මෙරටට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හා හමුවක් සංවිධාන කෙරුණු අතර, ඊට ගෝඨාභය පමණක් සහභාගි වී සිටි ආකාරයක් ද දැකගත හැකි විය.

කෙසේ වෙතත් මහින්ද-ශිරන්ති විවාහ සංවත්සරයට සියලු දෙනාටම ආරාධනා කෙරුණද බැසිල්ගේ මුහුණ එදින දැකගන්නට නොලැබුණු බවත්, ගෝඨාභය ද පැමිණ ඇත්තේ අනෝමා නොමැතිව තනිවම බවත්, වාර්තා වේ.

ගෝඨාභය මෙසේ මහින්දගේ ගෙදරට පැමිණියේද සෑහෙන කාලෙකින් පසු වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වන අතර, ගෝඨාභය පැමිණියද ඔහුට වෙනදා මෙන් ඉහළ සැලකිලි හිමිවන ආකාරයක් කිසිවකුටත් දැකගන්නට නොලැබී ඇත.

එහිදී බොහෝ දෙනෙක් ඔහුට මුහුණ නොදී මගහැර සිටි ආකාරයක්ද දැකගන්නට තිබූ බවත්, මේ බව වැටහුණු නිසාදෝ ඉක්මනින්ම රාත්‍රී ආහාරය ගෙන ගෝඨාභය විජේරාමෙන් පිටව යෑමට පියවර ගෙන තිබූ බවත්, ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.