May 4, 2026

එයාර් බස් ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දීමට පැමි­ණෙන ලෙස අල්ලස් කොමි­සම මඟින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂට මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතී­සි­යක් එවා නැතැයි මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකා­ශක නීතිඥ මනෝජ් ගමගේ ‘දින­මි­ණ’ පුවත්පතට පවසා ඇත.

මේ සම්බ­න්ධ­යෙන් විම­සී­මේදි හිටපු ඇමැති පියං­කර ජය­රත්නද පවසා ඇත්තේ, තම­න්ටද මේ සම්බ­න්ධ­යෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.

යම් සිද්ධි­ය­කට කැඳ­වී­මක් කරන්නේ නම්, ඊට අදාළ පුද්ග­ල­යාට දැනුම්දීම වෙනු­වට තම හිත­වත් ජනමාධ්‍ය වෙත දැනුම්දීමට කට­යුතු කරන බවත්, ඒ මඟින්ම එහි ඇති අරුත පැහැ­දි­ලිව පෙන්නුම් කරන බවත් මනෝජ් ගමගේ පවසා ඇත.

එමෙන්ම රාජ­පක්ෂ පාර්ශ්වය මෙවැනි දේශ­පා­ලන කට­යු­තු­ව­ලට බිය නොවන බව පවසන මනෝජ් ගමගේ, අවශ්‍ය අව­ස්ථා­ව­ලදී නීත්‍යා­නු­කූ­ලව ඒ සඳහා ප්‍රති­චාර දක්වන බව ද සඳහන් කරයි.

අල්ලස් කොමි­සම රාජ­ප­ක්ෂ­ව­රුන් සම්බ­න්ධ­යෙන් ඉතා උන­න්දු­වෙන් කට­යුතු කළ ද, වත්මන් රජ­යට එල්ල වී ඇති ගල්අ­ඟුරු වංචාව, කන්ටේ­නර් ගනු­දෙනු සහ ඩොලර් වංචා වැනි බර­ප­තළ චෝදනා සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ නොකි­රීම ගැට­ලු­වක් බව ද නීතිඥ මනෝජ් ගමගේ අව­ධා­ර­ණය කර තිබේ.

අල්ලස් කොමි­සම කට­යුතු කරන්නේ, මහ­ජන බදු මුද­ලින් මිස පාල­ක­යන්ගේ මුද­ලින් නොවන බවත්, දේශ­පා­ලන දඩ­ය­ම්ව­ලට ප්‍රමු­ඛ­ත්වය ලබානොදී අනෙ­කුත් මහා පරි­මාණ වංචා පිළි­බ­ඳ­වද ස්වාධී­නව පරී­ක්ෂණ පව­ත්වන ලෙසත් හෙතෙම ඉල්ලා ඇත.